කීර්ති ප්‍රනාන්දු
පරිවාස කාලයකට යටත්ව සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 64 දෙනෙකුට එම පරිවාස කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය ඉතා අසාධාරණ අන්දමින් ඔවුන් සේවයෙන් ඉවත්කර ඇතැයි දුම්රිය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය සහ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම සේවකයන්ට නිසියාකාරව සේවයට වාර්තා කිරීමට නොහැකි වූ බව පවසන දුම්රිය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී. සම්පත් රාජිත දුම්රිය දෙපාර්තමේන්තුවේ අවිධිමත් පරිපාලනය ඔවුන්ට සහන කාලයක් වත් ලබා නොදී ඔවුන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව පාලනාධිකාරිය වගකිව යුතු යැයි ද පැවසීය .
ඉකුත් මැයි සහ ජුනි මාස වලදී මෙම සේවකයන් 64දෙනා ඉවත් කිරීම සිදු වී ඇති අතරඑමනිසා ඔවුන්ගෙන් යැපෙන පවුලේ සාමාජිකයන් දෙසිය පනහකට අධික පිරිසක් මහ මගට වැටී ඇතැයිද ඔහු කියා සිටී
.මෙම සේවකයන් 64 දෙනා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව තම සංගමය හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට කරුණු ඉදිරිපත් කළ ද එයට පාලන අධිකාරියෙන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසන ලේකම්වරයා මේ පිළිබඳව නව දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සේවකයන් 64 දෙනා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවධානයට යොමු කර ඇති බවද පැවසීය .
මේ අතර වසර 10 කට ආසන්න කාලයක සිට දෙපාර්තමේන්තුවේ තාවකාලික පදනම යටතේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවන් ස්ථිර කිරීමට මෙතෙක් කටයුතුකර නැති බව ද ඔහු පැවසුවේය.