මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ අනියම් සේවකයින් තම සේවය ස්ථිර කරදෙන ලෙසට බල කරමින් දිඹුලාගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට අද ( 05) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.
මෙම විරුද්ධතාවය සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ අනියම් කම්කරුවන්, සෞඛ්‍ය කම්කරුවන්, මාර්ග කම්කරුවන්, ඇතුළු සේවකයින් තිහකට ආසන්න පිරිසක් එක්ව සිටිති.

වසර දහයකට ආසන්න කාලයක් තමන් අනියම් සේවයේ නිරතවන අතර බලයට පත් අමාත්‍යවරුන් තම සේවය ස්ථීර කර දෙන බවට අවස්ථා කිහිපයකදී පොරොන්දු වුවද එම පොරොන්දු කඩවී ඇති බව විරෝධතාකරුවෝ සඳහන් කරති.
මීට මාස කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට පැමිණ ශ්‍රි ලංකාවේ සියලු පළාත් පාලන ආයතනවල සහ සභාවල සේවය කරන අනියම් කම්කරුවන් පසුගිය මාර්තු 01 වෙනිදා සිට සේවය ස්ථීර කර පත්වීම් ලබාදෙන බවට පොරොන්දු වුවද එම පොරොන්දු කඩ වී තිබෙන බවද විරෝධතාකරුවෝ කීහ.
.
මේ අයුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා හත තුළ අනියම් කම්කරුවන් 94 දෙනෙකු සේවය කරන අතර ශ්‍රි ලංකාව පුරා පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශිය සභාවල අනියම් කම්කරුවන් 8100 කට ආසන්න සංඛ්‍යාවක් වසර දහයක පමණ කාලයක සිටි සේවය කරන බවද දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ අනියම් සේවකයෝ සඳහන් කළහ.
තම සේවය ස්ථිර කර පත්වීම් ලබාදෙන තෙක් මෙම අරගලය ක්‍රියාත්මක කරන බවද දිඹුලාගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත අනියම් කම්කරුවෝ සඳහන් කරති.







