කොළඹ නුවර අධිවේගී මාර්ගයේ දාරළුව ප්‍රදේශයේ තිබූ ලෝක රතු දත්ත පොතට ඇතුළත් කර පඬු කරඳ (crudia zeylanica ) ශාඛය වළ දැමූ තැනින් ගොඩ ගෙන එය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඉල්ලා පුරාවස්තු සුරැකිමේ සංවිධානය ගම්පහ වන අඩවි නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිල්ලක් සහිත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි සමග නීතිඥ ලක්දිනු ධීරසේකර, නීතිඥ උපුල් අබේවික්‍රම යන නීතිඥ මණ්ඩලය ඊයේ (14) දිනයේ දී මෙම ඉල්ලීම කර ඇත.
මේ සම්බන්ධව අදහස් දැක්වූ නීතිඥ ලක්දිනු ධීරසේකර ප්‍රකාශ කළේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 42 වැනි වගන්තියට අනුව ආරක්ෂිත ලෙස නම් කර ඇති ශාඛයක් කිසිසේත්ම අනතුරකට ලක් කළ නොහැකි බවත් එය රටේ නීතියව තිබිය දී කැබිනට් අනුමැතියක් ගෙන රටේ නීතිය උල්ලංඝණය කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක් බවත්ය.
මෙම ශාඛය සංරක්ෂණය කළ හැකි අවස්ථා ගණනාවක් තිබියදී එක කපා පොළොවේ වළලා දැමීම ඉතාම සාහසික ක්‍රියාවක් බව පැවසූ නීතිඥවරයා තමන් ඇතුළු නීතිඥ මණඩලය පැමිණ ගම්පහ වන අඩවි කාර්යාලයෙන් ඉල්ලා සිටියේ වළ දැමූ ශාඛය ගොඩ ගෙන එය නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කර මේ අපරාධය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස යැයි කීවේය.
ගෙවත්තක ගසක් අනවසරයෙන් කැපුවත් රටේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරනා වන අඩවි නිලධාරීන් රතු දත්ත පොතට ඇතුළත් කර තිබූ ශාඛයක් ප්‍රසිද්ධියේ කපා ඉවත් කර දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම පුදුමයක් බව කී නීතිඥ ලක්දිනු ධීරසේකර, රටේ බලවතුන්ට සහ සාමාන්‍ය පුද්ගලයින්ට නීති දෙකක් නැති බවත් ඇත්තේ එක් නීතියක් පමණක් බවත් ප්‍රකාශ කළේය.







