විරෝධතාවයේ නියුතු නුවර දිගුගමන් සේවා පුද්ගලික බස් රථ රියදුරන් සහ කෙටි ගමන් සේවා බස් රථ සේවකයින් අතර ඇතිවූ ගැටුමකින් පහර කෑමට ලක් වූ 47 හැවිරිදි සේවකයෙක් රෝහල් ගත කර තිබේ. මේ ගැටුමේ දී කිහිප දෙනෙක්ම තුවාල ලබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ඉන්ධන මිල ඉහළ යෑමට එරෙහිව අද නුවර දුරගමන් සේවා බස් රථ සේවක සහ රියදුරු පිරිස් බස් රථ නවතා විරෝධතාවයක් ආරම්භ කළහ.
මෙම විරෝධතාවයට සහාය පලකිරීමට කෙටි දුර ධාවනය කරන රියදුරන් සහ බස් රථ සේවකයින් ද වර්ජනයට එක් වූහ.
ඔවුන් ලංගම බස් රථ සේවාව ද අවහිර කළහ. මේ අතර පාසල් නිම වූ පසු පාසල් දරුවන් රැගෙන යෑමට ලංගම බස් රථ සේවා පැමිණ තිබිණි. පාසල් බස් රථ පැමිණ දරුවන් ප්‍රවාහනය කිරීමට දුර ගමන් සේවා විරෝධකරුවන් එරෙහි වූයේය. බස් රථවල නැගුණු දරුවන් බස් රථවලින් බස්සන්ට කටයුතු කළ විරෝධතාකරුවන්ට කෙටි දුර බස් රථ සේවාවන්හි සේවකයෝ විරෝධය පල කළහ.
මේ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය වූ අතර ඊට නුවර මාර්කට් එකේ සහ වෙනත් තරුණ පිරිස් එක්වීම නිසා තත්වය දුර දිග ගොස් තිබිණි.
මේ වනවිට පොලිසිය මැදිහත් වී ගැටුම සමතයකට පත් කර ඇත.