පොලිස් නිලධාරියෙක් විසින් නීතිඥවරයෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධව සීසීටීවී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (12) නියෝග කළාය.
ඒ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.
අධිකරණ භූමිය තුළ අධිකරණ බස් රථයකට නීතිඥවරයෙකුගේ වාහනය අවහිර කිරීම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් මත මෙම පහර දීම සිදුකළ බව පවසමින් නීතිඥවරයා විසින් අශික්ෂිත ලෙස හැසිරීම මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල සංවාදයකට ලක් කර තිබේ.
නීතිඥවරයා විසින් ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි. පොලිස් කොස්තාපල්වරයා කිසිම පහර දීමක් නොකළ බව ප්‍රකාශ කර තිබිණි. ඔහු වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් ද ඉදිරිපත් වුයේ නැත.
සීසීටීවී දර්ශන සහ අධිකරණ භූමියේ ඒ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින්ගේ සාක්ෂි මත ඉදිරි විමර්ශන මෙහෙයවීමට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා තීරණය කරන්නේ ඒ අනුවය.
සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස අධිකරණයේ ඇති සීසීටීවී කැමරාවල දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වාගෙන යන ලෙස ගල්කිස්ස පොලිසිය කළ ඉල්ලීමට අනුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (12) දිනයේ දී නියෝග කරන්නේ ඒ අනුවය.







