කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජයේ නිසි පියවර නොගන්නේ නම් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් රට ඉතා භයානක තත්වයකට තල්ලු වීමේ අනතුරක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා තම සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ඇතැම් යෝජනා තවමත් ක්‍රියාවට නංවා නැති බවට හෙතෙම චෝදනා කළේය.
මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබෙන බවත් එම දිස්ත්‍රික්කවලින් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගැනීමට සීමා පනවන ලෙස තම සංගමය රජයට දැනුම් දී තිබුණද මෙතෙක් ඒ සඳහා පියවර නොගැනීම බරපතළ ගැටලුවක් බව ඒ මහතා පවසයි.
මේ වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක අභියස ලංකාව පැමිණ තිබෙන අතර පසුගිය දින දෙකෙහි හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ බහුතරයක් සමාජය තුළින් හඳුනාගත් අය බව වෛද්‍ය අලුත්ගේ මහතා අවධාරණය කළේය.
රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ගම තවදුරටත් ක්‍රියාත්මක කරනවා නම් රෝගීන් විශාල ලෙස වැඩිවී දැඩිසත්කාර ඒකක පිරී ගොස් රට දැඩි අවදානමකට ඉදිරි මාස දෙක තුළ තල්ලු විය හැකි බව වෛද්‍ය අලුත්ගේ මහතා අනතුරු අඟවා සිටියේ ය.