දිනසේන රතුගමගේ –
නිවසේ සුරතලයට ඇති කළ බලු පැටවෙකු සීරීම නිසා ජලභීතිකා රොගය වැළඳුණු යාපනයේ පණ්ඩිතරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු රෝහල් ගත කොට සිටියදී 15 දා මියගොස් තිබේ.
මෙසේ මියගොස් අත්තේ යාපනයේ පණ්ඩිතරිප්පු තම්බිතුරෙයි පාරේ පදිංචි කරුණාසිවම් ආනන්දරාසා නැමති අවුරුදු 48 ක් වයස පුද්ගලයෙකි.
නිවසේ ඇති දැඩි කළ බලු පැටවා මිය ගිය අයගේ කකුල බල්ලාගේ නියපොතු අලින් සූරා දැමීම නිසා ඔහුට තුවාල සිදුව ඇති අතර ඔහු නිවසේදී එම තුවාල වලට ප්‍රතිකාර ලබා ගෙන ඇත.
දින දෙකකට පසුව බලු පැටවා මියයාම නිසා ඔහු යාපනය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුව රෝහලට ඇතුළත් කරගෙන ඇති අතර ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව තහවුරු කරගෙන ඇත. ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවතා ගෙන යන අතර පසුගිය ව්සරේදී ජලභීතිකා රෝගයෙන් යාපනයේ පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.
යාපනයේ ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමට හේතුව අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු ලැබෙන අතර යාපනය නගරයේ පමණක් අයාලේ යන සුනඛයින් 3200 ක් පමණ සීටින බවට ගණන් බලා තිබේ.
මේ සුනඛයින් සම්බන්ධව ක්‍රියාත්මක වීමට යාපනය මහ නගර සභාව පියවර ගත් අවස්ථාවේදී යාපනයේ සත්ත්වවේදීන්ගේ සංගමය ඊට එරෙහි වී ලබා ගත් අධිකරණමය තීන්දුවක් නිසා නගර සභාවට අයාලේ යන සුනඛයින් සම්බන්ධව කටයුතු කිරීමට නොහැකි විය.