ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති නිල් තල්මසුන් නැව්වල ගැටීම අවම කර ගැනීම සඳහා දකුණු පසට නෞකා මාර්ගය වෙනස් කිරීමට ලෝකයේ විශාලතම නාවික හා සැපයුම් සමූහය වන එම්එස්සී සමූහය තීරණය කර තිබේ.
වැඩිම නිල් තල්මසුන් සංඛ්‍යාවක් සිටින උතුරු ඉන්දියානු සාගරය මතින් වැටී ඇති නැව් මාර්ගයන් නිසා එම නැව්වල ගැටෙන නිල් තල්මසුන් තුවාල ලැබීමත් මිය යාමත් සම්බන්ධයෙන් තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා වන පාරිසරික රාජ්‍ය නොවන සංවිධාන වන ‘ඕෂන් කෙයාර් හා අයිඑෆ්ඒඩබ්ලිව් (IFWA) සංවිධානවල දැනුවත් කිරීම්වලින් පසු එම්එස්සී සමූහය නැව් මාර්ග වෙනස් කිරීමේ තීරණය ගෙන ඇත.
“වසර පුරාවටම ශ්‍රී ලංකා මුහුදේ නිල් තල්මසුන් දක්නට ලැබෙන අතර වර්තමාන ජාත්‍යන්තර නැව් මාර්ගය වැටී ඇත්තේ තලමසුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිම ප්‍රදේශයක් හරහාය. භාණ්ඩ නෞකා නිසාත්, තල්මසුන් නැරඹීමේ බෝට්ටු හා කුඩා ධීවර යාත්‍රා හේතුවෙන් තල්මසුන්ට හානි සිදු වේ. එම්එස්සී සිදු කළ දෙය ඉතා කුඩා දෙයක් වුවත් එය තල්මසුන්ට විශාල දෙයකි.“ ජාත්‍යාන්තර පරිසර සංවිධාන ප්‍රකාශ කර ඇත.
අයිඑෆ්ඒඩබ්ලිව් හා ඕෂන්කෙයාර් විසින් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පසුගිය ජූනි මාසයේදී ජර්මානු නැව් හිමියන්ගේ සංගමය ද එහි සාමාජිකයින්ගෙන් මාර්ගය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේය.
මීළඟ පියවර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානවලට ආරක්ෂිත අක්වෙරළ මාර්ගයක් සඳහා යෝජනාවක් ගෙන ඒමයි.
නිල් තල්මසුන් යනු වසර 80 – 90 ක ආයු කාලයක් සහිත පෘථිවියේ විශාලතම ජීවි කොට්ඨාසයයි. වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින මෙම තල්මසුන් මීටර් 25ක් පමණ දිගට වැඩෙන බව හඳුනාගෙන තිබේ.







