දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දින උළෙල ජාතික ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන මෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඊයේ (27) දිනයේ මේ පිළිබදව විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම් වශයෙන් ගම්මානවලට යමින් ජනතාව දැණුවත් කිරීමේ වැඩ සටහන් දියත් කොට ඇත.
ශ්‍රී ලංකාව ජාතික නිදහස් දිනය සමරන දිනය වන විට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට කිසිදු අයිතිවාසිකමක් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති නිසා ඊට එරෙහිව ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට නිදහස උදා වී වසර 78 ක් මේ වන විට ගත වී ඇතත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට ඒ ඒ කාලවලදී ලංකාවේ බිහි වූ දේශපාලනඥයින් අපොහොසත් වී ඇති බවත් එම පාලකයින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ කරපිටින් ගොස් බලය ලබා ගැනීමෙන් පසුව දෙමළ ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීම ගත වූ කාලය මුලුල්ලේම සිදු වූ බවත් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව පෙබරවාරී හතර වෙනිදාට යාපනය විශ්ව විද්‍යාලයේ කලුකොඩි දමා ජාතික නිදහස් දිනයට විරෝධය පල කිරීමට මහා ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇති අතර එම විරෝධතා උතුරු නගෙනහිර ගම්මාන පුරාද ක්‍රියාත්මක කිරීමට නියමිතය.








