මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සමයේ අතිශය ප්‍රසිද්ධියට පත්වන මග දෙපස රැස්වී සිටින ජනයාගේ ගෞරවාදරයට ලක් වන නැදුන්ගමුවේ රාජා ඇතා අදටත් රටේ ජනතාවගේ මනසේ ඇදී ඇත්තේ චිත්‍රයක් සේ ය.
යළි යළිත් ඒ මතකය අවදි කරන්නට නැදුන්ගමුවේ රාජා නමින් ලියවු ගීතයක් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ රස විඳින්නට හැකි වන්නේය .
නැදුන්ගමුවේ රාජා ඇතාගේ ඉතිහාසගත සිදුවීම් ගාම්භීර බව තේජාන්විත බව මනා කොට කැටි කරමින් පද පෙළ ගසා තිබූයේ දීපිකා රත්නායක විසිනි. ශ්‍රාවක මනස දැහැන්ගත කරවන පරිද්දෙන් සංගීතවත්කොට තිබූයේ ප්‍රියන්ත නාවලගේ සංගීත ශිල්පියා විසිනි. හදට දැනෙන අයුරින් ගීතය ගායනා කරන්නේ ධනංජය ගජනායක තරුණ ශිල්පියා විසිනි.
ජීවන ගමනේ කෙළවර සියල්ල හැරදා යාම වුවත් මේ පින්වන්ත සත්වයා තවමත් අපි අතර ජීවත් වන බවට හැඟීම් දනවන පරිද්දෙන් මේ ශිල්පී සුසංයෝගයෙන් ගීතය නිර්මාණය වී තිබෙන බව සැබෑය.
ගීතය පිළිබඳ අදහස් දක්වමින් ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත නාවලගේ අප හා සංවාදයට එක් විය.
” මම සෑම මොහොතකම පාහේ උත්සාහ කරනු ලබන්නේ හැකියාව ඇති කාගේ හෝ උදව්වක් නැති තරුණ ශිල්පීන්ට උදව් කිරීමට යි. බොහොමයක් තරුණ දූ දරුවෝ කුසලතා වර්ධනය කරමින් තමන්ගේ හැකියාව ඔපමට්ටම් කර ගන්නට ක්‍රමයක් නොමැතිව ලත වෙනවා. එසේත් නැතිනම් තමන්ගේ දක්ෂතා මතු කර ගත නොහැකිව එය හරිහැටි හඳුනා ගත නොහැකිව ලත වෙනවා. මේ සියල්ල සමග මගේ නිර්මාණ එළි දක්වන්නට උත්සාහ ගන්න සෑම අවස්ථාවකදීම තරුණ දූ දරුවන්ට අතහිත දීමට මා කැමතියි. එවන් අවස්ථාවක තමයි මට ධනංජය ගජනායක හමුවන්නේ. ධනංජය දක්ෂතා ඔප්නංවා ගැනීමට කැමති තරුණයෙක්. මේ ගීතයේ අර්ථය ඔහුගේ හඬ සමග ඉතා සමීපතාවය කින් මුසු වෙන බව මට කියන්න පුළුවන්. ඔහු ගීතයට හොඳ සාධාරණයක් ඉටු කළා මේ ගීතය ලියවෙන්නෙ නුවර ප්‍රදේශයේ වෙසෙන දිපිකා රත්නායක ගේ පෑන් තුඩින්.“
ඇය ගී පද රචනයට ඉතා ඇල්මක් දක්වන්නියක්. ඇයගේ ගී පදවල නැදුන්ගමුවේ රාජා ඇතාගේ ඉතිහාසය වර්තමානය ලියවිලා තිබුනා. ඒ පද වල අරුත මනා ලෙස ගැලපිලා තිබුණා. නැදුන්ගමුවේ රාජා ඇතාගේ විලාසය මගේ හිතේ නිතරම සිතුවමක් සේ ඇදී තිබෙන බව මට දැනුනත් ඒ ගමන් තාලය ඔහුගේ වියෝව සමග ජනතාවගේ වේදනාව ඉතා හොඳින් සංගීතය සමඟ මුසු කළ බව මට කියන්න පුළුවන්. ප්‍රියන්ත නාවලගේ සංගීත ශිල්පියා කියා සිටියේ එවන්නක්..
පද පෙළ එකින් එක පිළිවෙලට ඇමිණූ දීපිකා රත්නායක කියා සිටියේ මෙවැන්නක්..
” මා ප්‍රියන්ත නාවලගේ සංගීතඥයා වෙත මගේ ගී පද රචනා බොහොමයක් ලබා දී තිබෙනවා. ඔහු ඒ ඒ පදවල අර්ථය රසය සියල්ල ගැලපෙන හඬක් හා මුසුකොට ගීතයක් බවට පත් කරන අයෙක්. මෙවර ඔහු මට ආරාධනාවක් කළා නැදුන්ගමුවේ රාජා ගැන පදපෙළක් ලියන්න. මා මේ පද පෙළ ලියන්න කලින් තරමක කාලයක් ගෙන නැදුන්ගමුවේ රාජාගේ උප්පත්තියේ සිට මරණය දක්වා කාලය සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කළා. අධ්‍යයනයේ දී මතු වූ ප්‍රබල කරුණු නොදැනුවත්ම වාගේ ගී පද පෙඝට එකතුවෙලා.
මම ජීවත් වෙන්නේ මහනුවර. ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන සෑම දිනකම බෙරහඬ හොරණෑ හඬ අපේ නිවෙසට ඉතා හොඳින් ඇහෙනවා. නැදුන්ගමුවේ රාජා ඇතාගේ පුරාවෘත්තය කියවූ මොහොතේ පෙරහැරේ හඬත් සමඟ සියල්ල මගේ සිතේ සිතුවමක් ලෙස චිත්‍රණය වුණා. මට උවමනා උනා ඒ සිතුවම එපරිද්දෙන්ම ශ්‍රාවකයා වෙතට ළඟා කරන්න. මම හිතනවා මගේ ලියැවිල්ල සාර්ථක වුණා කියලා..
මා නර්තන ගුරුවරියක්. ඒ පසුබිමත් මේ පද රචනයට එකතු වෙන්න ඇති. මා ලියූ ගීත අතරින් නැදුන්ගමුවේ රාජා පිලිබඳ ලියවුනු ගීතය සුවිශේෂ යි.”
සංගීතය සමඟ මුසු වූ ගී පද ධනංජයගේ හඬින් සවනත වැකෙන විට නැදුන්ගමුවේ රාජා පිළිබඳ සියලු මතකයන් යළි යළිත් දෑස් මත විචිත්‍රවත් වෙයි. ධනංජය ඔහුගේ ඒ දායකත්වය සිහිකරන්නේ මෙලෙසින්…
” මම මොණරාගල දොඹගහවෙල තමයි ජීවත් වෙන්නේ. නුවර පෙරහැර මගේ සිතේ නිතර ගෞරවයට පාත්‍ර වූ පෙරහර මංගල්‍යය ක්. ප්‍රියන්ත නාවලගේ මහත්මයා මේ ගීතය ගායනා කරන්න මට ආරාධනා කරද්දී මට ලොකු සතුටක් දැනුණා. මම බොහොම කැමැත්තෙන් මේ ගීතය ගායනා කළේ. ඒ නැදුන්ගමුවේ රාජා ඇතාට මගේ යුතුකම ඉටු කළාක් වැනි හැඟීමෙන්.“
“මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. රටේ ජනතාවගෙන් බහුතරයක් ම ඇතා පිළිබඳ ඉන්නේ දුකෙන්… වේදනාවෙන්… ජිවිතේ අනිත්‍ය බව මරණයෙන් පසක් වුණත් මේසා ගෞරවයට පාත්‍ර වූ සත්වයෙක් මෙලොව හැර ගිහාම මිනිසුන්ගේ සංවේදනා අවදි වෙනවා. එවන් මොහොතක ජනතාවගේ හිතට මුමුණන්න හැකි වීම මා ලද භාග්‍යයක්…