මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත් වූහ.
නා විමන ආරණ්‍ය සේනාසනයේ භාවනුයෝගීව වැඩ වාසය කරමින් පිළිවෙත් පුමින් සිටිය දී අපවත් වූ සංඝයාවහන්සේ අතර විදේස් ජාතික හිමිවරු තිදෙනෙක් ද වූහ. උන්වහන්සේලා රුමේනියා, රුසියා සහ ඉන්දීය ජාතික හිමිවරු වෙතියි පොලිසිය සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් 07 නමක් අපවත් වී 04නමක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත. තවත් දෙනමක් අනතුර සිදුවන අවස්ථාවේ දී ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.
අනතුරින් තුවාල ලද භික්ෂූන්වහන්සේ 06 නම කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබේ.
පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පල කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.







