ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –
තහනම් දැල් පන්න ක්‍රමවලින් මසුන් මැරීමට එරෙහිව ත්‍රී කුණාමලය ධීවර කාර්මිකයන් පිරිසක් අද (13) දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව එල්ල වී තිබුණේ ඩයනමයිට් දමා තහනම් දැල් යොදා මසුන් මැරීම සිදුකරීමට දූෂිත ධීවර නිලධාරීන් ඉඩ දෙන බවටය.
ත්‍රී කුණාමලය සිරිමාපුර හන්දියේ සිට පෙළපාළියකින් ඇතුළු වරයා පාරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට පැමිණ ධීවර ප්‍රජාව මෙම උද්ඝෝෂණ්‍ය පැවැත්වූහ.
උද්ඝෝෂකයින් පිරිස ප්‍රාදේශීය ධීවර කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය හරස් කරගෙන බිම ඉඳගෙන මාර්ගය හරස් කිරීම හේතුවෙන් ගමනා ගමන කටයුතු ද පැය කීපයකට අවහිර විය.
ධීවර කාර්යාලයේ දොරටුව හරස් කර පොලිසිය ආරක්ෂාවට යොදවා තිබිණි.
මේ අවස්ථාවේ දී මාධ්‍යයයට අදහස් දැක්වූ ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති එම්.සී.පියල් හේමසිරි පැවසුවේ මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ කරන තහනම් පන්න ක්‍රම සම්බන්ධව කොතෙකුත් බලධාරීන් දැනුම්වත් කළත් වැඩක් වී නැති බවය.
එහිදී අදහස් දැක්වූ ධීවරයින් කීවේ මේ සම්බන්ධව නාවික හමුදාවේ ක්‍රියාකලාපය සම්බන්ධව සෑහීමකට පත් විය නොහැකිවා සේම නාවික හමුදාවට බලපෑම් කරන ධීවර මැරයන් ද සිටින බවය.
ධීවර කාර්යාලය තහනම් දැල් පන්න කරන ධීවර සංගමයක් සඳහා ලියාපදිංචිය ලබා දුන් බව ද ධීවරයෝ කීහ.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන්නත් එය ප්‍රතික්ෂේප කළ බව සහකාර ධීවර අධ්යක්ෂ ඉෂාර ටි. කංකානම්ගේ පැවසීය.
නාවික හමුදාව හැකි උපරිමයෙන් මේ සම්බන්ධව මැදිහත්වන බව පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.
https://www.facebook.com/100083017554608/videos/2484572191723094