මීට සති දෙකකට පෙර නාරම්මල ඉන්ධන පිරවුම්හලකට ගෙනා පෙට්රල්වලින් ලබා ගත් සාම්පලයේ ජලය විශාල ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විමර්ශනයක් ආරම්භ කළ ද එහි ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කරමින් පසුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම, මෙම ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථය ද තවදුරටත් රඳවාගෙන සිටින අතර එය ද නිදහස් කර නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.
මෙම ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ගොඩබෑමට පෙර සාම්පලයක් ලබාගෙන තිබේ. එය පරීක්ෂා කිරීමේදී පවතින පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ඊට සමාන ප්‍රමාණයක් ජලය ද අඩංගු වී ඇති බව නිරීක්ෂණය විය. මීට අදාළ වීඩියෝවක් ද වෛරස ආකාරයෙන් රටතුළ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් නියෝග කරන ලදී.
ඒ අනුව සංස්ථා නිළධාරීන් එම පරීක්ෂණය පැවැත්විම සඳහා පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉන්ධන බවුසරය සිය භාරයේ තබාගෙන සාම්පල විශ්ලේෂණ සඳහා ලබාගෙන ඇතත් මෙතෙක් එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට කල් මරමින් සිටින බව සඳහන් වේ.
මේ පිළිබඳ විමසීමට ‘ලංකාසර’ ඊයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
කෙසේ වුවද ඛනිජ තෙල් නීතිගත ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්ධන ටැංකිවල පතුලේ ඉන්ධන පවතින අවස්ථාවලදී ඒවා පොම්ප කිරීමට පහසු කර ගැනීම සඳහා ජලය මිශ්‍ර කරන බවත් ඉන්පසු නිසි ක්‍රමවේදයකට අනුකූලව බවුසරවලට පැටවීමේදී ජලයත් , ඉන්ධනත් වෙන් කොට අදාළ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසුව නිකුත් කිරීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවයි.
ඒත් පවතින තදබදය හා ඉල්ලුම මත එවැනි ප්‍රමිති පරීක්ෂාවකින් තොරව මෙම බවුසරය පිටත් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බවත් ඒ පිළිබඳ නිවැරදි තීරණයක් ගත හැක්කේ අදාළ සාම්පල පරීක්ෂාවෙන් බවත් සංස්ථාවේ ආරංචි මාර්ග ‘ලංකාසර’ ට සඳහන් කළේය.