කැබිනට් ඇමති ධූර ඉල්ලා පොහොට්ටුවෙන් මතුවී තිබුණු තියුණු පීඩනය නිසා දිනෙන් දින කල් ගිය කැබිනට් මණ්ඩලය පත් කරගැනීම ජනාධිපතිවරයා රැජනගේ අවමංගල්‍යයට ගොස් පැමිණි වහාම සිදුවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම ලබන 20 -23 අතර සිදුවීම අනිවාර්ය බවත් එසේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නොහැකි වුවහොත් ආණ්ඩුවේ පැවැත්ම බරපතල අර්බුදයකට යා හැකි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ නාමල් රාජපක්ෂට පමණක් කැබිනට් ඇමතිකම නොලැබෙනු ඇති බවය. ඒ ඇමති ධූරය නාමල්ට ලබා දීමට පොහොට්ටුවේ ප්‍රබලයින් දැඩි බලපෑමක් සිදුකළත් පොහොට්ටුව ඇතුළෙන්ම කණ්ඩායමක් මේ අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ ඇමති ධූරයකට පත්වීම සුදුසු නැති බවට දැඩි ස්ථාවරයක සිටීම නිසා මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් විරෝධය එල්ල වී තිබුණු ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවී වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමට ඇමති ධූර හිමිවනු ඇතැයි පැවසේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තනතුරට ඔසවා තැබීම සඳහා තිරය පසුපස හෙළි නොවුන භූමිකාවක් කළ එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධනටත් ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් හිමි වීමට නියමිතය.
කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලය 35 ඉක්මවා යා හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.