දකුණු අප්‍රිකාව පුරා පැතිරී යන විකෘති වෛරස් ප්‍රභේදයකින් පසුගිය දින දෙක තුළ ලෝකයම තිගැස්සුනේය. මෙම ප්‍රභේදය නම් හඳුනාගෙන තිබුණේ B.1.1.529 ලෙසය. පසුගි 24 වැනි දා ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත මේ කොවිඩ් මාරකය වාර්තා කරන ලද්දේ දකුණු අප්‍රිකාවෙනි.
අවදානම් සහගත වෛරසය ප්‍රභේදයක් ලෙස හඳුනා ගත් මෙම වෛරස ප්‍රභේදය දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝන් ( Omicron ) ලෙස නම් කර තිබේ. ග්‍රීක අක්ෂර පදනම් කරගෙන මෙම නාම කරණය සිදුකර ඇත. ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් ග්‍රීක අක්ෂර වලට අනුව නාම කරණය කළ පස්වන කොරෝනා වෛරස ප්‍රභේද වේ.
ඔමික්‍රොන් ගැන විශේෂ සමාලෝචනයක් හා තක්සේරුවක් සඳහා කොවිඩ් වෛරසය හෙවත් SARS-CoV-2 වෛරස් පරිණාමය පිළිබඳ තාක්ෂණික උපදේශක කණ්ඩායම (TAG-VE) ඊයේ (26) රැස්වුනේය. මෙම නාමකරණය සිදුවූයේත් ඒ අවස්ථාවේදී ය.
TAG-VE ලෙස හඳුන්වන මෙම විශේෂඥවරු SARS-CoV-2 හි පරිණාමය කාලානුරූපව නිරීක්ෂණය කරන සහ ඇගයීමට ලක් කරන සහ විශේෂිත විකෘති සහ විකෘති සංයෝජනවල හැසිරීම් වෙනස් කරන්නේ දැයි තක්සේරු කරන ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් වෙති.
ඔවුන්ට අනුව දකුණු අප්‍රිකාවේ වසංගත රෝග තත්ත්වය ප්රබලව වාර්තා වූ අවස්ථා වලදී වෙනස් උච්ච අවස්ථා තුනක් නිරීක්ෂණය වී තිබිණි. එම ආසාදනයන් ඇති කළ එක් ප්‍රභේදයක් වූයේ ඔමික්‍රෝන්ය.
ප්‍රථම වරට තහවුරු කරන ලද ඔමික්‍රෝන් ( Omicron ) ආසාදනය වාර්තා වන්නේ පසුගිය 09 වැනිදා එකතු කරගත් නියැදියකිනි. මෙම ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ මෑත සතිවලදී කොවිඩ් ආසාදන දැඩි ලෙස වැඩි වී ඇති බව වාර්තා වූ බව ඔවුන් නිරීක්ෂණය කර තිබිණි.
මෙම ප්‍රභේදයට විකෘති විශාල සංඛ්‍යාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරු පවසති . අනෙකුත් කොවිඩ් වෛරස ප්‍රභේද වලට සාපේක්ෂව මෙම ප්‍රභේදය සමඟ නැවත කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව මූලික පරයේෂණවලින් තහවුරු වන ආකාරය ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රභේදය අසාදිත රෝගීන් සංඛ්‍යාව දකුණු අප්‍රිකාවේ සෑම පළාතකම පාහේ වැඩිවෙමින් පවතින බව දිගින් දිගටම වාර්තා වේ.
මේ වන විට බෙල්ජියම, හොංකොං, බොට්ස්වානා යන රටවලින් ද මෙම වෛරසය ආසාදනය වූවන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ජපානය, ඊශ්‍රයලය ඇතුලු රටවල් රැසක් මේවන විටත් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීම සීමා කිරීමට පියවරගෙන ඇත.
මේ අතර ඇමරිකාවේ බෝවන රෝග පිළිබඳ විශේසඥ වෛද්‍ය ඇනත්නී ෆවුචි දේශ සීමා වසා දැමීමට හදිසි වියයුතු නැති බවට පවසා සිටියදී ඊයේ රාත්රියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද දකුණු අප්‍රිකාව සහ තවත් ඊට ආසන්න රටවල් අටක සිට පැමිණෙන සංචරකයින්ට රටතුළට ඇතුලු වීම වළක්වා එළැඹෙන සදුදා සිට දේශ සීමා වසා දැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ඔමික්‍රෝන් ( Omicron ) සම්බන්ධව අධ්‍යයන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙම ප්‍රභේදය ඇගයීම විශේෂඥවරුන් විසින් දිගටම කරගෙන යන බවත් නව සොයාගැනීම් සාමාජික රටවල් සමග බෙදා ගන්නා අතර අවශ්‍ය පරිදි මහජනතාවට සන්නිවේදනය කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.







