-
ආණ්ඩුවේ සිටින පොහොට්ටුවන් අති බහුතරයකට ඇමති ධූර…. එකතුවන සෑම සුළු පක්ෂයකටම අඩුම තරමින් රාජ්‍ය ඇමති කමක්… වැඩිපුර එක්ක ආවොත් නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා…
ලබන 10 වැනිදාට පෙර නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි. ඇමති මණ්ඩලයේ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධූරවල එකතුව සියය ඉක්මවා යනු ඇතැයි ද එම ආරංචි මාර්ග තහවුරු කරයි.
වාර්තා වන ආකාරයට කැබිනට් ඇමතිවරු 35 දක්වා වැඩි වීමට ඉඩ තිබේ. ඊට සමාන නියෝජ්‍ය ඇමති ධූරත් ලබා දිමට සැලසුම් වී ඇත.
පසුගිය ආණ්ඩුවේ සිටි නියලුම රාජ්‍ය ඇමතිවරු එම ධූරවල පිහිටුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. මේ ආණ්ඩුවේ පොහොට්ටුව නියෝජන කරන අති බහුතරයකට රාජ්‍ය ඇමති ධූර හෝ ඇමති ධූර ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.
මීට අමතරව ආණ්ඩුවට අලුතින් එකතුවන සෑම සුලු පක්ෂයකටම රාජ්‍ය ඇමති ධූරයක් ලබා දීමට සැලසුම් කර ඇත. එක්වන සංඛ්‍යාව අනුව නියෝජ්‍ය අමාත්‍ය ධූරත් හිමි වීමට නියමිතය. ඒ අනුව රාජ්‍ය ඇමති ධූර හතලිහකට සීමා කිරීමට සැලසුම් කළත් හතලිහ ඉක්මවා යනු ඇත.
මේ අනුව සමස්ථ ඇමති මණ්ඩලය 113 ඉක්මවීමට ඉඩ තිබේ.
මේ වනවිට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සමග සාකච්ඡා කර ආණ්ඩුවට පැමිණෙන පිිරිස සහ ඔවුන්ට ලබා දෙන ඇමති ධූර සම්බන්ධ එකඟතාවයටක පැමිණ ඇතැයි පැවසේ.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්ෂ සමග බවය.
කෙසේ වෙතත් අයිඑම්එෆ් නිර්දේශවලට අනුව මෙවැනි විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමේ අවකාශය රජයට නැති නිසා තත්ත්වය සංකීර්ණ වී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







