දිනසේන රතුගමගේ –
යාපනයේ පැරණි බස් නැවතුම්පල ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් හදිසියේම ගිනි ගැනීම නිසා එම වාහනය අද ( 26 ) දහවල් විනාශ වී ගොස් තිබේ.
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා වැගන් ආර් රථය මෙම ස්ථානයේ නතර කොට එහි හිමිකරු අසල වූ බැංකුවක් වෙත ගොස් ඇති අතර ස්වල්ප වේලාවකදී වාහනය ගිනි ගන්නට පටන් ගෙනඇත

අසල සිටි පිරිස් කලබලයට පත් වී වාහනයේ හිමිකරුට හා යාපනය නගර සභාවේ ගිනි නිවන ඒකක වලට සිද්ධිය ගැන දැණුම් දී අවට සිටි පිරිස්ද වැලි හා වතුර ගසමින් වාහනයේ ගින්න මැඩ පැවත්වීමට උත්සහ කොට තිබේ.
නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වන විට වාහනය ගින්න හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.
මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වාහනයේ අයිතිකරු සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







