දිනසේන රතුගමගේ –
යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිලේ සප්ත රාත්‍රී විශේෂ පූජාවට ඊයේ (12) පැමිණි බැතිමතුන් අතර ඇතිවූ තෙරපීමකින් බැතිමතුන් හය දෙනෙකු සිහි මූර්ජා වී තිබේ.
එලෙස සිහි මූර්ජා වූ බැතිමතුන් රැගෙන යාමට පැමිණි ගිලන් රථ වලටද අදාල ස්ථානයට යාමට නොහැකි වූ නිසා සිහි මූර්ජා වූ බැතිමතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබුණි.
වහාම පොලීසිය එම ස්ථානයට ගොස් කෝවිලේ පාලන අධිකාරිය විසින් ඉදිකොට තිබූ මාර්ග බාධක කඩා දමා සිහි මූර්ජා වූ පිරිස බේරා ගෙන තිබේ.
එම පිරිසට වෛද්‍ය හා ප්‍රථමාධාර ආයතනවල නිලධාරීන් විසින් මූලික ප්‍රතිකාර ලබා දී සිහිමූර්ජා ගතිය ඉවත් කොට ප්‍රකෘති තත්ත්වයට පත් කරගෙන ඇත.
පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති අතර අනෙක් හතර දෙනා මූලික ප්‍රථමාධාර හේතුවෙන්ම සුවය ලබා තිබේ.
මේ සිද්ධියෙන් පසුව කම්පාවට හා බියට පත් බැතිමතුන් විශාල පිරිසක් පූජාවට සහභාගී නොවී නිවෙස් වලට ගොස් ඇත.
නල්ලූර් කෝවිලේ පාලන අධිකාරිය විසින් යාපනය මහ නගර සභාව සමග එක්ව කෝවිලට පැමිණෙන බැතිමතුන් සීමා කරගැනීම සදහා යකඩෙන් ගේට්ටු හා මාර්ග බාධක විශාල ප්‍රමාණයක් යොදා ඇති අතර කෝවිලේ මංගල්ලයට සහභාගි වූ බැතිමතුන් පිරිස ඉතා අධිකවීම නිසා ඔවුන් මෙම ආරක්ෂිත ගේට්ටුවලට හිර වී හුස්ම ගැනීමට නොහැකි වීම නිසා මෙම අවාසනාවන්ත සිදු වීම සිදුව තිබේ.
යාපනයේ බැතිමතුන් හා පොලීසිය වහාම එම මාර්ග බාධක හා ආරක්ෂිත වැටවල් පිළිවෙළකට යොදන ලෙසත් අනවශ්‍ය ලෙස යොදා ඇති එම බාධක ඉවත් කරණ ලෙසත් කෝවිලේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කොට තිබේ.
නල්ලූර් කෝවිලේ අවසන් දින කිපයේ විශේෂ පූජාවන් පැවැත්වෙන නිසා ඉතා විශාල බැතිමත්තු පිරිසක් ඒ දිනවල එම පූජාවන්ට සහභාගි වෙති.
බැතිමතුන් සිහිමූර්ජා වන අවස්ථාව වන විට කෝවිල තුළ බැතිමතුන් ලක්ෂ දෙකක් පමණ සිට ඇත.