දිනසේන රතුගමගේ –
අධිකරණයට අපහාස කිරීම, පොලිස් අණසකට යටත් නොවීම හා මහජනයා උසි ගැන්වීම යන චෝදනා රැසකට වරදකරුවන්වන නිසා වවුනියාව පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ ඉදිකර ඇති වෙඩුක්කුනාරී කෝවිලේ බලහත්කාරයෙන් පොංගල් උත්සවයක් පැවැත්වූ සැකකරුවන් 9 දෙනාට ඇප ලබා දීම වවුනියාව මහේස්ත්‍රාත්වරයා විසින් අද ( 12 ) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නියමිත පරිදි පොලිස් වාර්තා ඉදිරිපත්වන තුරු ඔවුන් නව දෙනාව මාර්තු මස 19 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
වවුනියාව අධිකරණයේ පනවන ලද නඩු හයකින්ම මේ ස්ථානයේ මහා පරිමාණයේ පුද පූජා පැවත්වීම හෝ සංවර්ධන කටයුතු සිදු කිරීම නවතා දමා තිබියදී මෙවර මහා ශිව රාත්‍රී දිනය දා මහා පරිමාණයේ පොංගල් උළෙලක් දේශපාලනඥයින්ගේ උවමනාවට පවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පූසාරියා අතුලුව නව දෙනෙකු පසුගිය 8 දා අත් අඩංගුවට ගෙන තිබුණේ නෙඩුන්කේණී පොලීසිය විසිනි.
ඔවුන් පලමු වරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මාර්තු මස 12 වෙනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එදින යළි ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව 19 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන්ට ඇප ලබා දීමේ අපේක්ෂාවෙන් ඔවුන්ගේ ඥාතීන් විශාල පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි නමුත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව 9 දෙනා වවුනියාව බන්ධනාගාරය වෙත රැගෙන ගියේය. ඒ අවස්ථාවේදී ඥාතීන් මහපාරේ සිට හඩා වැළපෙමින් සිටිනු දක්නට ලැබුණි.