දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයන් පිළිබඳ ව විමර්ශණය කිරීමේ ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති මෝසම සම්මත වුවහොත් එය මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිය සහ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට පෙර නොවූ අහිතකර බලපෑමක් සහ වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බව ශ්‍රි ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවයි.
පසුගිය 09 වැනිදා එනම් අවුරුදු නිවාඩුවට පෙර පාර්ලිමේන්තුව පැවැත්වූ අවසන් දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම මෝසම පිළිබඳව ශ්‍රි ලංකා නීතීඥ සංගමය දැඩි සේ අවධානය යොමු කර ඇති අතර එම කොමිෂන් සභා නිර්දේශ අතර මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල ක්‍රියාත්මක වන නඩු කිහිපයක් ඉවත් කර ගැනීම පිළිබඳව ලබා දී ඇති නිර්දේශ පිළිබඳව එම සංගමයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ (17) සවස මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළ ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව අවධාරණය කරන්නේ පසුගිය පෙබරවාරි මස 15 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව විමර්ශෂණය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම හරහා මෙම තත්ත්වය නිර්මාණය වන බවයි.
එම නිවේදනයට අනුව මෙම විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව ස්ථාපනය කරන ලද්දේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා දේශපාලන පළිගනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීමටය. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ද මෙම මෝසම පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම අප්‍රියෙල් මස 21 වැනිදාට යොදාගෙන තිබෙන අතර මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙම නිර්දේශ අභියෝගට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලෙන පසුබිමක් තුළය.
මෙම නිර්දේශවලට පදනම් වූ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙතෙක් මහජනතාව අතට පත් කිරීමට තබා අඩුම තරමේ ශ්‍රි ලංකා නීතීඥ සංගමය හරහා නිතීඥවරුන්ගේ පරිශීලනයටවත් නිකුත් කර නොමැත්තේ එම වාර්තාවේ පිටපත් ලබා දෙන ලෙස නීතීඥවරුන්ගේ සංගමය විසින් ඉල්ලීමක්ද කරනු ලැබ ඇති පසුබිමකය.
කෙසේ වුවද මෙම නිර්දේශ අතර පවතින දැනට අධිකරණයේ විභාග වන නඩු ගණනාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබ ඇති නිර්දේශය ක්‍රියාත්මක වීම මෙරට අධිකරණයේ නිතිය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධිනත්වයට මෙනම් නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයද අභියෝගකයට ලක්වන බවත් එය බරපතල තත්ත්වයක් බවටත් ශ්‍රි ලංකා නීතීඥ සංගමය අනකුරු අඟවයි.
මෙම තත්ත්වය මෙම මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කිරීමෙන් වළකින ලෙසත් එය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.