මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය එම අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර සිය දියණිය ගේ මගුල් ගෙදර වියදම් සඳහා රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
විමර්ශන අංශ හෙළි කරගෙන ඇත්තේ මෙම ලක්ෂ 51ක රැගෙන ගොස් දියණියගේ විවාහ මංගල උත්සවයක් සඳහා අවශ්‍යය ගෙවීම් සිදුකර තිබෙන බවය.
නගර සභාවට බදු, වරිපනම්, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු ගෙවීම් සිදු කරනු ලබන්නේ සරප් අංශය මගින් වන අතර මෙහි දෛනිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වන බව දැන ගන්නට තිබේ.
දෛනිකව එකතු වන මුදල් පොත් වල සටහන් කර නගර සභාවේ ගිණුමට බැර කළ යුතු ය. පසුගිය සතියේ නගර සභාවට ගෙවීම් ලෙස ලැබුණු මුදල්වලට අදාළ ගිණුම් සහ ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී රුපියල් ලක්ෂ 51 ක පමණ මුදලක් හිඟ බව පෙනී යාමෙන් පසු මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික ගේ මෙහෙයවීමෙන් අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇත.
අදාළ මුදල් නැවත ගෙනවිත් බාර දී සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේම ඉහළ නිලධාරීන් පිරිසක් උත්සහ කර ඇතැයි වාර්තා වන නමුත් නගරික කොමසාරිස්වරයා ගේ මෙහෙයවීම ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන ඇත.
මහනුවර මහ නගර සභාවේ වසර 05 කට ආසන්න කාලයක් සේවය කර තිබෙන අදාළ නිලධාරිනිය මෙම වසර අවසානයේ වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට යාමට සූදානමින් සිට ඇති බව ද වාර්තා වේ