තුෂාරී කළුබෝවිල –
ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ (0012N,60E-75E) ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස වහා ම ගොඩබිමට ගෙන්වා ගැනීම හෝ කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළයුතු බවට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය මැයි 14 වැනිදා වන විට සුළි කුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කීවේ ය.
එහි බලපෑමෙන් දිවයිනේ සබරගමුව, මාධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ පළාත්වල ප්‍රදේශ රැසකට තද වැසි, ගිගුරුම් සහිත වැසි, අකුණු අනතුරු, දැඩි සුළං ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇති වේ.
දිවයිනේ බටහිර හා නිරිත දෙසින්වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ බොහෝ සෙයින් රළු වන අතර කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ද තද වැසි, තද සුළං, අකුණු, මුහුදේ කැළඹිලි ස්වභාවයන් ඇති වේ.
අධික වැසි සමග ඇති වූ තද සුළං, අකුණු අනතුරු ආදි විපත් හේතුවෙන් සබරගමුව, වයඹ, උතුර හා ඌව ප්‍රදේශවල මේ වනවිටත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති අතර නිවාස 135 කට පමණ හානි සිදුව තිබේ. විපතට පත්ව ඇති පිරිස 560 කි.
මේ අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනටමත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර අරාබි මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ව පවතින කැළඹිලි තත්ත්වයත් සමග වර්ෂාපතනයේ ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද නායයාම් අවදානම ඉහළ යන බැවින් ඒ පිළිබඳ ව ද දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවට ද අනතුරු ඇඟවේ.
මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේ ම පැවතිය හැකිය.