ස්ත්රී දූෂණ චෝදනාවට ලක් වී මේ වන විට දැඩි ඇප කොන්දේසි මත නිදහස් වී සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩු විභාගය මැයි 18 වැනිදා දක්වා කල් තැබීමට සිඩ්නිහි ඩව්නිං අධිකරණය අද (04) නියෝග කළේය. ඒ නඩුව අද අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දීය.
එහිදී ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇලන් සහිනොවික් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණ ද නිවු සවුත් වේල්ස් ප්රාන්ත නීති අධ්යක්ෂවරයා නඩුව සති තුනකට කල් තබන ලෙස ඉල්ලා සිටියේය.
මෙහිදී ධනිෂ්කගේ නීතිඥවරයා පෙන්වා දී තිබුනේ මෙම නඩු කල්දැමීම නිසා ධනිෂ්කට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සහතික කිරීම සඳහා ලබා දී ඇති මාස 06ක කාලය ඉක්මවා ගොස් ඇති බවය.
ස්ත්රී දූෂණ චෝදනා සහතික කිරීම සඳහා තවත් සති දෙකක් බලා සිටීමට සිදුවීමෙන් වන අගතිය වෙනුවෙන් නඩු ගාස්තු අයකර ගැනීමට ධනිෂ්කගේ නීතිඥවරයා අදහස් කර ඇතැයි ද වාර්තා වේ.
ධනිෂ්ක ගුණතිලක පසුගිය 20යි විස්ස ලෝක කුසලානය අතර දී කැමැත්තකින් තොරව කාන්තාවක් සමග සිව් වතාවක් ලිංගිකව හැසිරීම සම්බන්ධව චෝදනා ලැබ ඇත. පසුගිය වසරේ නොවැම්බර් මස 06 වැනි දින අලුයම ධනිෂ්ක අත්අඩංගුවට ගනු ලැබුවේ කණ්ඩායමේ සෙසු ක්රීඩකයින් සමග ශ්රී ලංකාවට පැමිණීමට ටික වේලාවකට පෙරය.