ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000ක දීමනාව සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලුම වෘත්තින් ලබා දෙන මෙන් ඉල්ලා හෙට උදෑසන 6.00 සිට පසුදා උදෑසන 8.00 දක්වා කාලය තුළ සිය සේවාවන්ගෙන් ඉවත් වී සිය විරෝධය පළ කිරිමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනයට පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කළමණාකරන සහකාරවරුන්, සංවර්ධන නිලධාරීන්, උපස්ථායකවරුන්, රෝහල් සෞඛ්‍ය කාර්ය සහයකයින් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනය එක්වන බව සන්ධානයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේය.
සෞඛ්‍ය සේවයේ එක් පාර්ශ්වයකට පමණක් ඉල්ලීම් ලබා දිම සෞඛ්‍ය සේවයේ සමගිය බිඳ හෙළන වෑයමක් මෙන්ම අරගලයක් ඇතිකිරීමට හේතුවක්වන බව රහසක් නොවේ යැයි ඔහු පෙන්වාදේ.
සෞඛ්‍ය සේවාව තුළ උවමනාවෙන්ම ඇතිකළ මෙම අර්බුධය සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වැහීමේ සැලසුමක් විය හැකියැයිද හෙතෙම පවසා සිටියි.
කෙසේ නමුත් වැරැද්ද නිවැරදි කිරීමේ හැකියාව තවමත් රජය සතු බැවින් සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට නොයවා වහාම සාකච්ඡා කර ගැටලු විසඳිමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත් ඉතිහාසයේ නරකම සෞඛ්‍ය ඇමතිවරයා නොවී අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ටත් සාධාරණය ඉටුකරන මෙන් වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය ඇමතිවයාගෙන් ඉල්ලා සිටියි.