දිනසේන රතුගමගේ –
යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවක් ගෙළ සිරකොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයාද මෙහෙකාරියද නොවැම්බර් මස 29 වෙනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ක්‍රිෂාන්තන් පොන්නතුරෙයි ඊයේ (16) නියෝග කළේය .
වයෝවෘද්ධ කාන්තාව තමන්ගේ නිවසක තනිවම ජීවත් වී ඇති අතර ඇයව රැක බලා ගැනීම සදහා මසකට රුපියල් 75000 ක වැටුපකට මෙහෙකාරියක් මහලු කාන්තාව විසින් තබා ගෙන ඇත.
එම නිවසේම කොටසක උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය හා ඇගේ ස්වාමි පුරුෂයා කුළී පදනම මත වාසය කොට ඇති අතර මහලු කාන්තාවගේ දේපල අත්පත් කර ගැනීමේ අරමුණින් මෙහෙකාරියගේද සහය ඇතිව වයෝවෘද්ධ කාන්තාවගේ ගෙල මිරිකා මරා දමා ඇති බවට යාපනය නෙල්ලි අඩි පොලීසියට තොරතුරු ලැබී තිබේ.
මහලු කාන්තාවගේ ශරීරයේ කොටස් කීපයක් පේදුරුතුඩුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.වාසුදේව විසින් කොළඹ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් පසුව මෙම මරණය ඝාතනයක් බවටත් ගෙළ සිරකොට ඇයව මරා දමා ඇති බවටත් අනාවරණය විය. පසුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබේ
පසුගිය ඔක්තෝබර් මස 5 දා සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ නෙල්ලිඅඩි පොලීසියේ නිලධාරීන් මොවුන් තුන් දෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබුණි.