ජානක ලියනආරච්චි –
ව්‍යසනය සිදු වී දින පහක් ගතවෙමින් ඇත. තවමත් රටේ පුරවැසියන් පහළොස් ලක්ෂ පනස් අට දහස් නවසිය දහ නවයක් ආධාර ලැබිය යුතු මට්ටමකය.
ආපදාවෙන් සුරක්ෂා කිරීම සඳහා පිහිටවූ මධ්‍යස්ථාන 1,433 ක පුද්ගලයින් දෙලක්ෂ තිස් දෙදහස් හත්සිය පනස් දෙකක් ( 232,752 ) දෙනෙකු අවතැන්ව රැඳී සිටිති.
මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 366 දෙනෙකු තවමත් අතුරුදහන්ය. ප්‍රායෝගික ඇත්ත නම් තවත් මරණ 336ක් සමස්ථ මරණ සංඛ්‍යාවට එක්වීමට නියමිතව ඇත.
සමස්ථ ව්‍යසනයේ ගැඹුරු කම්පනයන් දරා ගත හැකිය. දරාගත නොහැකි වූයේ රටම අමු සොහොනක් වූ විට ඉන් ප්‍රමොදයට පත්ව විකල් අවස්ථා සොයන දේශපාලනය සොම්බින්ගේ අපුල දනවන කාලකණ්ණිකමය.
කිව යුතුව ඇත්තේ දෙවි දේවාතවුන් කෝප නොවූ බවය. උන්නාසේලාට කෝප පන්නට නිමිත්තක් තිබුණේ නැත. දළදා වහන්සේත් වැඩ හිඳී දැයි විශ්වාසයක් නැති රටේ දශක ගණනක් ඇස් පනාපිට දුටු කුප්ප කුපාඩි පාදඩ ජඩකම්වලට හවුල් වෙමින් සිටි මළ පෙරේතයින්, කුම්භාණ්ඩයින්, පිශාචයින් කෝප වී දැයි දන්නේ නැත. එසේ නම් උන් බිලිත් අරන් පිටව ගොස්ය. සුන් බුන් වූ රට ලෝකයේ ආධාරත් සහිතව යළි ගොඩනැගීමේ තවත් අවස්ථාවක් ආණ්ඩුව ඉදිරියේ තිබේ. ව්‍යසනය හරහා මතුවන මේ ස්වර්ණමය අවස්ථාව කළමනාකරනය කරගැනීමේ නිශ්චිත වගකීම ආණ්ඩුවට තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, මහනුවර දිස්ත්‍රික්කය වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේය. මරණ 118 ක් සහ පුද්ගලයින් 171 දෙනෙකු අතුරුදහන්ය.
ව්‍යසනයෙන් නිවාස 783 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස්ය. නිවාස 31,417 ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.
ජීවිත යළි නගා සිටුවීමේ දුෂ්කර මෙහෙයුම ජාතියකට ඉතිරි කරමින් කැළණි ගඟ ඇතුළු සියලුම ප්‍රධාන ගංගාවල ජල මට්ට්ම සාමාන්‍ය පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර කීවේය.
රට යළි එක් මිටකට ගෙන ගොඩ නැගිය යුතුව ඇත. ආපදාවක් වූ විට අපාදවට සහන සැලසීම සඳහා වූ සහනාධාරත් ගසා කෑ ඉතිහාසය පුනරච්ඡාරණය විය යුතු නැත. අප පැමිණියේ සුනාමි ව්‍යසනය වෙනුවෙන් ලැබෙන ආධාර මුදලත් කොල්ල කෑ පාදඩ පාලනයන් පසුකරය.
ව්‍යසනයේ සැබෑ ගැඹුර අනාවරණය වන්නට පටන් ගෙන ඇත. මාර්ග පද්ධතියට සිදුවූ හානිය පමණක් රුපියල් බිලියන 190කි. තවමත් සන්නිවේදන කුළුණු 1248ක් ඇතුළු සන්නිවේදන පද්ධතියත් විදුලි බල පද්දතියත් ඇතැම් ප්‍රදේශවලට අක්‍රීය ය. ගම් පිටින් නායේ ගොස් වැළලී ඇති අයුරු දුටුවෙමු. ඒ ජීවිත පරිච්ඡේද වශයෙන්ම සැඟවී ඇත. වගාබිම් විනාශය. පහළම ගොවියාටත් පොහොර ටික සැයපුම් ටික ලබා දී ආර්ථිකය ස්ථාවර කළ යුතුව තිබේ. සෞඛ්‍ය පද්ධතියට සිදුවූ ව්‍යසනයද සුළු පටු නොවේ. මහියංගනය වැනි රෝහල් ද අපදාවට පත් විය. බෙහෙත් ගබඩා මෙන්ම සෞඛ්‍ය උපකරණ ද ගංවතුරින් විනාශ වූයේය. ඉදිරියේ දී රට පුරා පැතිරී යෑමට නියමිත වසංගත ඇතුළු රෝගී තත්ත්ව වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ දැවැන්ත අභියෝගය ආණ්ඩුව ඉදිරියේය.
ඉතිරිව ඇති එකම සම්පත අයෝමය මානව සම්පතය. පිරුණු හදවත් සහිත මිනිස්සුන්ගේ ජීවිත කැපවීමය. ලෝක ආධාර ප්‍රවේශයන් වෙත එළඹිය හැකි අවස්ථා නිර්මාණය වී ඇත.
බිංදුවෙන් පටන් ගැනීම පහසුය. අවස්ථාවන් ඕනෑවටත් වඩා විවෘත වී තිබේ. තත්ත්වය කළමනාකරණය කරගැනීමේ නිශ්චිත වගකීම ආණ්ඩුවට තිබේ. එම කළමනාකරණ රටාව අප ජාතියක් ලෙස නිසි තැන තබනු ඇත.







