මනම්පිටිය නිමල් ජයරත්න –
අපේ රට ආහාර අර්බුදයකට මුහුණ පා සිටින මොහොතේ සියලුම දුම්රිය රක්ෂිතය ඉඩම් කෙටි කාලීන බෝග වගාවට බදු වශයෙන් ලබාදීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
එම ඉඩම් වසර දෙකක කාලයකට, වසරකට පර්චස් එකකට රුපියල් සියය බැගින් බදු අය අයකරගැනීම පදනම යටතේ ලබා දීමට කටයුතු කර ඇතිි බවද ගුණවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් කීය.
දිඹුලාගල මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද (03) සවස දුම්රිය රක්ෂිත ඉඩම්වල පදිංචි අයවලුන්ගේ ගැටලු විසඳීමේ ජංගම සේවයට එක්ව පැමිණි සිටි පිරිස අමතමින් ඇමතිවරයා ඒ බව කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කිවේය.
ජනතාවගේ ඉල්ලීමක් තිබුණා සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා. අපි සිස්ටම් චේන්ජ් එක ආරම්භ කරලා තියෙන්නේ.“
“ මේ රටේ ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායකයා, අගමැති, මහජන එක්සත් පෙරමුණේ, දිනේෂ් ගුණවර්ධන මහතා. පොදුජන පෙරමුණේ අපි කැබිනට් මණ්ඩලය හැටියට කටයුතු කරනවා. රට අන්තිම අමාරුවකට වැටිල තියෙන මොහොතේ අපි සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරනවා.“
“මේ සංසාර ගමනේ පළවෙනි වතාවට දුම්රිය සාමාන්‍යධිකාරිවරයෙක් ගම්වලට ගිහිල්ලා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට. අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලන කාලේ ඉඳන් ඉතා තද නීතියක් යටතේ භාණ්ඩ සහ ජනතාව ප්‍රවාහනය කරමින් විශාල ජාතික මෙහෙවරක් කරන ආයතනයක්. සාමාන්‍යයෙන් දුම්රිය රක්ෂිතයක අනවසරයෙන් කිසිම කටයුත්තක් කිරීම බරපතළ දඬුවම් ලබන වරදක් පමණක් නොව ඒවට ඇප දෙන්නෙත් නැහැ. එනිසා මේවා පොදු දේපල හැටියටයි ගණන් ගන්නේ . පොදු දේපළවලින් ඉවත් වෙන්න කිව්වොත් ඉවත් නොවුනහොත් අධිකරණට ගියොත් ඇප නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේවයෙ පදිංචිි ඉන්න අයට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න.“
“ඉතින් අපි මහාපොළොව ඵලදායි අන්දමින් පාවිච්චි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස්මත අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් සෑම ග්‍රාමසේවාවසමකම පිහිටුවන කමිටු වලට වසර දෙකක කාලයකට දුම්රිය රක්ෂිත ඉඩම් ලබාදීමට කටයුතු කරනවා. ඒවායේ කෙටිකාලීන බෝග වශයෙන් මුංඇට, කවුපි,උඳු, ,මිරිස්, තල වගා කරන්න අපි අවසර දෙනවා. පලතුරු බෝග වගා කරන්නත් පුළුවන්. උස යන් නැති ගස් හිටවන්නත් පුළුවන්. ඒ වගේම දැනට දුම්රිය රක්ෂිතවල පදිංචිව බදු නොගෙවන අයටත් අපි මාස තුනක කාලයක් බදු ගෙවීම්ට අවස්ථාවව දෙනවා. එහෙම නැති අය අයින් කරනවා. “
“අපි දන්නවා, තමුන්නාන්සේලාගේ අමාරුකම්, එකවර ඒවා ගෙවන්න බැරිනම් අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ඒ බදු මුදලෙන් තුනෙන් එකක් මාස තුනකදි ගෙවන්න කාලයක් ලබාදෙනවා. තුන්වෙනි එක දැනට දුම්රිය රක්ෂිතවල පදිංචි වෙලා ඉන්න අය ප්‍රාදේශීය ලේකම්වරයා හරහා ඉල්ලීමක් කරල දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට යොමු කරන්න, ඊට පස්සේ අපි පරීක්ෂණයකින් පසුව ඒ ඉඩම් බදු පදනම මත ලබාදෙනවා.“
“සාමාන්‍යයෙන් කොළඹ හදවත, කොටුව ප්‍රදේශය. කොටුවේ පර්චස් එකක් රුපියල් ලක්ෂදෙසිය පමණ වටිනවා මේ දවස්වල. අපි තමුන්නාසේලාට දෙන්න යන්නේ පර්චස් එකක් රුපියල් සීයකට. ඉතින් ඒවායෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙන ජීවිතය ආර්ථිකයෙන් ගොඩ ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. “
“ඒ වගේම දුම්රිය රක්ෂිතවල දෙපස ඉතා විශාල වාණිජ වටිනාකමක් තියෙන ඉඩම්වල ඉදිකිරීමක් කරලා මේ ප්‍රදේශයේ ආයෝජන කරුවන් ඉන්නවානම් ඔවුන්ට බද්දට ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒවා දිගු කාලීන අපි ලබාදෙනවා“, යයිද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට වාරිමාර්ග යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, පොලොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි, දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් රැසක්ම එක්ව සිටියහ.