අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති අතර තවදුරටත් වැසි ඇදහැලෙන බැවින් ගංගා හා ජලාශවල ජල මට්ටම් ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දිස්ත්‍රික්ක හතරක ගංගා ආශ්‍රිත ස්ථාන 20කට 25 වැනිදා අලුයම වන විට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇති අතර ඒ අතරින් ස්ථාන 4කට මිලිමීටර් 150 ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්බොඩට මිලිමීටර් 181.5ක ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිටට මිලිමීටර් 173.5ක ද වැසි ඇති වූ බව වාර්තා කර ඇත.
කළු ගඟේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වීම හේතුවෙන් රත්නපුර ද මහවැලි ගඟ නාවලපිටියෙන් ද පිටාර යමින් සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් රැසක් ද ජලයෙන් යටවෙමින් පවතින අතර ගංවතුර තත්ත්වයක් දක්වා එය වර්ධනය වනු ඇති බවට ද අනතුරු ඇඟවේ.
කැලණි ගඟේ කෙහෙල්ගමු ඔය නෝවුඩ්වලින් ද නිල්වලා ගඟ පණඩුගමින් ද අත්තනගලු ඔය දුනාමලෙන් ද පිටාර මට්ටමේ පවතී.
මේ අතර දිස්ත්‍රික්ක 7කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ව්සින් නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක් දැඩි අවදානම් කලාප ලෙසට නිවේදනය කර ඇත.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, රත්නපුර, ඇළපාත, නිවිතිගල, කළවාන, පැල්මඩුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නායයාම් අවදානම ඉතා දැඩි කලාප වේ.
එසේ ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඕපනායක, බලන්ගොඩ, කහවත්ත, ගොඩකවෙල, වැලිගෙපොල ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, වරකාපොළ, අරනායක, රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, ගලිගමුව, බුලත්කොහුපිටිය ද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිටි ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව හා මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ද නායයාම් අවදානම් කලාප වන බැවින් පවතින වාර්ෂාපතන තත්ත්වය හේතුවෙන් එකී ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස අවධාරණය කෙරේ. පස් කඩා වැටීම්, ගස් ඇළවීම්, දිය උල්පත් මතුවීම්, පවතින දිය ධාරා සිඳීයාම්, ජලය සමග මඩ මුසුවී ගලායාම් ආදි ලක්ෂණ පිළිබඳ විමසිලිමත් ව අවශ්‍ය වුවහොත් දැනටමත් ඒ ප්‍රදේශවල සූදානම් කොට ඇති ආරක්ෂිත ස්ථාන වෙත වහාම ගමන් කරන ලෙස ද දැනුම් දේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල තවදුරටත් වැසි, සුළං, ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇති වන බවයි.
මේ අතර දැඩි නියඟයක් පැවති යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල් හා කරෙයිනගර් මෙන් ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පෝරතිව්පත්තු හා මන්මුනෙයි බටහිර ප්‍රදේශවලට ද වැසි ලැබෙමින් පවතී. එම ප්‍රදේශවල 24847 දෙනෙක් නියඟයෙන් පීඩාවට පත්ව ඇත.
සටහන – තුෂාරී