තායිලන්තයේ රාජාණ්ඩුවේ පශ්චාත් යුධ පුනර්ජීවනයට චමත්කාරය සහ අලංකාරය ගෙන ආ, පසුකාලීනව ඉඳහිට දේශපාලනයට ද පිවිසි, තායිලන්තයේ සිරිකිත් මව් රැජින වයස අවුරුදු 93 දී මිය ගිය බව තායි රාජකීය ගෘහ කාර්යාංශය අද (25) නිවේදනය කළේය.
2012 දී ඇතිවූ ආඝාතයක් හේතුවෙන් සිරිකිත් රැජන ජීවත් වූයේ මහජන අවධානයෙන් බැහැරවය.
රෝග කිහිපයක් හේතුවෙන් ඇය 2019 සිට රෝහල් ගත කර ඇති බවත්, ඔක්තෝබර් 17 වන දින රුධිර ආසාදනයක් ඇති වී සිකුරාදා රාත්‍රියේ දී මිය ගිය බවත් මාලිගය පැවසීය.
රාජකීය පවුලේ සහ පවුලේ සාමාජිකයින් සඳහා වසරක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මව් රැජිනගේ අභාවය හේතුවෙන් තායි අගමැති අනුටින් චාන්විරකුල් මැලේසියාවේ පැවති ආසියාන් සමුළුවට ගිය ගමන අවලංගු කළ බව රජයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. .
රාජකීය අවමංගල්‍යයක් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්විමට නියමිතය..
ලෝකයම වශී කළ විලාසිතා
සිරිකිත් රැජනගේ සැමියා වූයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු ය. ඔහු තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජතුමා ය. ඔහු වර්ෂ 1946 සිට වසර 70ක් සිංහාසනයේ රැඳී සිටියේය. ඇය දීර්ඝ කාලයක් රැජනගේ භූමිකාව ඉටු කළාය. ඇය රජ පවුලේ හදවත් දිනා ගත් තැනය. එමෙන්ම එකල රජ පවුල් විශේෂ අවස්ථා සඳහා විදේශගත වූ අවස්ථාවල ඇය ලෝක අවධානය දිනාගත්තාය. එවක රැජනගේ විලාසිතා විචිත්‍රත්තවය ලෝක අවධානයට ලක්වූ අතර අන්තර්ජාතික මාධ්‍යවල ඇය ප්‍රධාන ප්රස්තුත සැපයුවාය.
එක් විශේෂ සිද්ධියක් සිහිකළ හැකිය. රාජකීය යුවල 1960 දී එක්සත් ජනපදයට කළ සංචාරයකදී ධවල මන්දිරයේ භෝජන සංග්‍රහයකට ද එක්වන්නට සැලසුම් වී තිබිණි. එම සංචාරයේ දී ඇයගේ අතිශය ආකර්ශනීය ඡායා රූපයක් සමග ටයිම් සඟරාව ඇයව හඳුන්වා තිබුණේ “අලංකාරය” සහ ” ස්ත්රීත්වයේ අග්‍ර ඵලය” ලෙස ය. ප්‍රංශ දිනපතා පුවත්පතක් වන L’Aurore ඇයව හැඳින්වූයේ “ආකර්ශනය ” ලෙසය..
තායිලන්තයේ රැජන වූ ප්රංශක යුවතිය
1932 දී උපත ලැබූ , සිරිකිත් කිටියාකර්, ප්‍රංශයේ තායිලන්ත තානාපතිවරයාගේ දියණිය වූවාය. ඇය ගතකළේ ධනය හා වරප්‍රසාද ලත් ජීවිතයකි. ඇය පැරිසියේ සංගීතය සහ භාෂාව හදාරන අතරතුර, ඇයට භූමිබෝල් මුණගැසුණේ ය. භූමිබෝල් ගේ ළමා කාලයේ කොටසක් ගතවන්නේ ස්විට්සර්ලන්තයේ ගත කළ බැවිනි. මේ යුවලගේ පළමු දැක්ම ආදරයකට පරිවර්තනය වූ ආකාරය ගැන ඇය වරෙක බීබිසිය වෙත පවසා තිබිණි.
මෙම යුවළ පැරිසියේ එකට කාලය ගත කළ අතර 1949 දී විවාහ ගිවිස ගත්හ. වසරකට පසුව ඇයට වයස අවුරුදු 17 දී ඔවුන් තායිලන්තයේදී විවාහ විය.
සැමවිටම විලාසිතාවෙන් පිරුණු සිරිකිත්, තායි සේද වලින් සාදන ලද ආකර්ෂණීය ඇඳුම් සඳහා ප්‍රංශ ඇඳුම් නිර්මාණකරු පියරේ බැල්මේන් සමඟ සහයෝගයෙන් කටයුතු කළාය. සාම්ප්‍රදායික රෙදි විවීම පිළිවෙත් සංරක්ෂණය කිරීමට සහාය වීමෙන්, තායිලන්තයේ සේද කර්මාන්තය පුනර්ජීවනය කිරීමට උදව් කිරීමේ ගෞරවය ඇයට හිමි වේ.







