දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය නිවේදනය කර තිබේ.
මහජනතාව මේ වනවිට සිය නිවෙස්වල ඉන්ධන ගබඩා කිරීම ආරම්භ කර ඇත්තේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වා ගෙන යන බැවින්, අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික කර දැනුම් දි ඇති වටපිටාවක බව ද පොලිසිය පෙන්වා දෙයි.
ඇතැම් කණ්ඩායම් බූලිවලට, කෑන්වලට ක්‍රමානුකූලව ඉන්ධන එකතු කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා, ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, ඉදිකිරීම් ස්ථාන, කෘෂිකාර්මික කටයුතු සහ ගෘහ අවශ්‍යතා වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතාවලට හැර, නැවත දැනුම් දෙන තුරු කෑන්, බෝතල් හෝ වෙනත් බහාලුම්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය සමඟ සම්බන්ධීකරණය කරන ලෙස සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.
තවද, වැඩි මිලට නැවත විකිණීම සඳහා ඉන්ධන ගබඩා කිරීමේ නිරත පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට මෙන්ම සමාජ මාධ්‍යවල ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩිව නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය දන්වා ඇත.







