මනම්පිටිය නිමල් ජයරත්න-
රජය මගින් ලබාදුන් දියර පොහොර වර්ගයක් කුඹුරට ඉසින අතරතුර සිදු වූ ආසාත්මික තත්ත්වයක් නිසා, අරලගංවිල කන්දේගම ප්‍රදේශයේ ගොවියෙක් 15 වෙනිදා සවස පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.
මෙලෙස කුඹුරේ ඇද වැටී සිටියදී, රෝහල් ගත කර ඇත්තේ අරලගංවිල කන්දේගම දම්මින්න අංක 338 ලිපිනයේ පදිංචිව සිටි හතළිස් හත් වියති තිදරු පියකු වන ඒ. කේ. එන්. සිරිවර්ධන යන අය බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය සඳහන් කරයි.
කන්දේගම ගොවි සංවිධානය මගින් මෙම දියර පොහොර වර්ගය, තම ස්වාමියාට ලබාදුන් බවත් ඔහු, 15 වෙනිදා උදෑසන එම් දියර පොහොර වර්ගය කුඹුරුට ඉසීමට ගොස් නැවත නොපැමිණීම හේතුවෙන් , සොයා ගිය පසු වමනය දමා ඒ අසලම වැටි සිටි බවත් පසුව 1990 ගිලන් රථ සේවාව මගින් අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ සැමියා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවත්, අවුරුදු 42 වියැති ඔහුගේ බිරිඳ වන තනූජා කුමාරි හේරත් අප සමග පැවැසුවාය.
පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති එම ගොවි මහතා විසි එකේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවත් රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.