ලලිත් චාමින්ද
ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 58ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ගිනි ගැනීමට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් හත්දෙනෙකු බේරාගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමට නාවික හමුදාව විසින් කටයුතු කරනු ලැබීය.
මෙකී ධීවරයන් හත්දෙනා රුහුණු කුමාරි 06 නැමති බහුදින යාත්‍රාවෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ඉකුත් 08 වැනි දින පිටත්ව ගොස් තිබුණි. ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී බහුදින යාත්‍රාව ගිනි ගැනීමට ලක් වී ඇත. එම ගිනිගැනීම නිරීක්ෂණය කල ‘MT SAIQ’ නමැති වෙළෙද නෞකාව මෙකි ආපදාව සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇත.
එම දැනුම්දීමට වහා ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රිය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත ආපදාවට පත් යාත්‍රාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කඩිනමින් ගිනි ගැනීමට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරනු ලැබීය. ගජබාහු නෞකාව පැමිණෙන තෙක් ආපදාවට පත් යාත්‍රාවේ සිටින ධීවරයන් මුදවාගැනීම සඳහා ‘MV AFRICAN TURACO’ වෙළෙඳ නෞකාව යොමු කිරීමට කටයුතු කරනු ලැබීය.
අනතුරුව, ‘MV AFRICAN TURACO’ වෙළෙඳ නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදවාගත් ධීවරයන් හත්දෙනා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත රැගෙන අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.