දිනසේන රතුගමගේ –
දින දොළහක් තිස්සේ වවුනියාව කනගරායන්කුලම පුදූර් ප්‍රදේශයේ වතුර වලක පණ අදිමින් සිටින දළ ඇතාගේ ජීවිතය ගොඩ ගැනීම සඳහා වනජීවී නිලධාරීන්ගෙන් ලැබෙන සහය හා ඔවුන්ගේ ක්‍රමවේදයන් ප්‍රමාණවත් නොවන බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුවඇටගම ආනන්ද මාහිමියෝ පැවසූහ.
අවුරුදු දොළහක් පමණ වයස මෙම දළ ඇතාට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම නිසා පාදයකට තුවාල සිදුව ඇති අතර දැනට වතුර වළක වැටී සිටින දළ ඇතා ගොඩ ගෙන ප්‍රතිකාර කිරීම උචිත බව නායක හිමියන් හා බොහෝ පිරිසක් වන ජීවී නිලධාරීන්ට යෝජනා කොට ඇතත් ඔවුන් ඊට දක්වන දැඩි අකැමැත්ත නිසා දළ ඇතාගේ ජීවිතය ඉතාම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද උන්වහන්සේ පැවසූහ.
වනජීවී නිලධාරීන් දළ ඇතාට ප්‍රතිකාර කළත් එම ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන්නේ වතුර වළක දළ ඇතා සිටීම නිසා ආහාර පවා ලබා දීමට ඇති නොහැකියාව නිසා බව පැවසූ මුවඇටගම ආනන්ද හිමියෝ බඩ ඉරිගු කොස් ඇතුළු විශාල ආහාර ප්‍රමාණයක්ද එතැනට රැගෙන ගොස් දළ ඇතාට සුවය ලැබෙන ලෙස ඉල්ලා යළිත් පිරිත් සජ්ජායනය කිරීමට පටන් ගෙන තිබේ.
මේ ස්ථානයට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන වන්නි ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර යන මහත්වරු ඇතුලු පිරිසක් ගොස් වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කොට තිබේ.
වෙඩි වැදුණු දළ ඇතා හමු වූ දිනයේ සිට එතැනට යුද හමුදාවේ පිරිසක් විසින් නොකඩවා ආරක්ෂාව සපයා දී ඇත.