ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳ මෙතෙක් සැකය දැඩිව එල්ල වූ ඒ මහතාගේ සමීපතමයකු සැකයෙන් මුදාහැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පියවර ගෙන තිබේ.
ඒ අනුව විමර්ශනය උඩුයටිකුරු කරමින් මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතයක් ඔස්සේ විර්ශන වෙනත් මඟකට යමින් පවතින බව වාර්තා වන අතර අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙතෙක් කළ විමර්ශනවල අවසාන ප්‍රගතිය බවට පත්ව ඇත්තේ මෙතෙක් ඔවුන් සැක කළ පුද්ගලයන් අතහැර වෙනත් සිදුවීමකින් මෙම මරණය සිදු වූ බව තහවුරු කිරීමය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (24) සවස දිනේෂ් ෂාෆ්ටර් මහතා ජීවත් වූ කොළඹ 7 මල් පාරේ නිවෙසට ගොස් පරීක්ෂාවක් කර ඇත. එහිදී එම නිවෙසේ තිබී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කර තිබුණු ඇන්ටනා වයරයේ ඉතිරි කොටසද, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෑත් ගැට ගසා තිබුණු වර්ගයේ කේබල් ටයි කිහිපයක්ද හමු වී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම්වලින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.
ඇන්ටනා වයරය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මවගේ නිවෙසේ රූපවාහිනිය සඳහා යොදා තිබූවක් බව කියයි. කේබල් ටයි 08ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් හමු වී ඇති අතර එම කේබල් ටයි හමු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මරණය සම්බන්ධයෙන් අලුත් මතය තහවුරු කර ගැනීම සඳහා පශ්චාද් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්ගේ මතය විමසා ඇතත් ඔවුන් එය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යනුවෙන් ප්‍රකාශ කර ඇති බව අනාවරණය වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය අලුත් මතය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි මේ වන විට රැස් කරමින් සිටින බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් මේ වන විට සිය සැකය මුළුමනින්ම යොමු කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධ අලුත් මතය තහවුරු කර ගැනීම වෙනුවෙනි.
මෙතෙක් සැකයට ලක් වූ සියලු පුද්ගලයන් සැකයෙන් නිදහස් කිරීමටද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් පියවර ගෙන හමාරය. ව්‍යාපාරික ගනුදෙනුවක් මත හෝ වෙනත් මූල්‍යමය සිදුවීමක් මුල් කරගෙන ඔහුගේ මරණය සිදුව ඇතැයි තහවුරු කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය සාක්ෂි මේ වන විටත් රැස් කරමින් පවතී. ෂාෆ්ටර් මහතාගේ හා පවුලේ අයගේ මෙන්ම ව්‍යාපාරික හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කර ඇත්තේද එබැවිනි.
දිනමිණ (2022-1්‍ර2-26)