දිනසේන රතුගමගේ –
එක් දිනක් වයසැති බිළිදෙකු අමානුෂික හා සාපරාධී ලෙස මරා දමන ලද බවට චෝදනා එල්ල වී තිබූ මුලතිව් ප්‍රදේශයේ කාන්තාවකට මුලතිව් මහාධිකරණ විනිසුරුවරයා විසින් ඊයේ (17) බරපතල වැඩ සහිතව වසර පහක සිර දඩුවමක් නියම කොට තිබේ.
මීට අමතරව රුපියල් දස දහසක දඩයක්ද නියම කොට තිබූ මුලතිව් මහාධිකරණ විනිසුරු ඒ.එම්.ඒ සහබ්දීන් එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් සාමාන්‍ය වැඩ සහිතව මාස හයක අමතර සිර දඩුවමක්ද නියම කොට තිබුණි.
මුලතිව් පුදුකුඩීඉරිප්පු මල්ලිකයිතිව් ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මුලතිව් පුදුකුඩීඉරිප්පු රෝහලේදී 2017 අප්‍රේල් 03 වැනි දින එස්.අවිසු නැමති පිරිමි දරුවකු බිහිකොට ඇති අතර බිළිදා නිවසට රැගෙන එන ලද දිනයේම බිළිදාගේ ගෙළ සිරකොට මරා වළදමා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද පුදුකුඩීඉරිප්පු පොලීසිය කාන්තාව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයට එරෙහිව කිළිනොච්චිය දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව විභාග විය.
පසුව එම නඩුව මුලතිව් මහාධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව අදාල නඩුව විභාගයට ගැනීමෙන් පසුව කාන්තාවට මෙම සිර දඩුවම නියම කරණ ලදී.
එම කාන්තාව විසින් බිහි කරණ ලද එක් දිනක් වයස බිළිදා මරා දමන ලද බවටත් මළ සිරුර රහසිගතව වළදමන ලද බවටත් ඇයට එරෙහිව පොලිසිය විසින් ගොනු කොට තිබූ සියළු චෝදනා සැකයකින් තොරව ඔප්පු වීමෙන් පසුව ඇයට මෙම දඩුවම නියම විය.







