ශ්‍රියානි විජේසිංහ –
බන්ධනාගාර රැදවියන්ට කලට වේලාවට තදබදයකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෙනම වාට්ටුවක් වෙන් කර දෙන්නැයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
බන්ධනාගාර රැදවියන් 44-50 අතර සංඛ්‍යාවක් දෛනිකව කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යාමට සිදුවන බවත් මේ සඳහා බන්ධනාගාර නිලධාරීන් 200ක් පමණ යෙදවීමට සිදුව ඇති බව වෛද්‍ය රණසිංහ පවසා සිටියි.
බන්ධනාගාරය තුල නිලධාරින් 4000කගේ හිගයක් පවතින අවස්ථාවකදී දෛනිකව රැඳවියන් ප්‍රතිකාර සඳහා රැගෙන ඒමට නිලධාරීන් 200ක් යොමු කිරීමද මේ වන විට බරපතල ගැටලුවක් වී ඇති බව හෙතෙම පෙන්වාදේ.
රෝගී තත්ත්වයක් උත්සන්නව රැදවියෙකු රෝහල වෙත මාරුකර එවීමට නොහැකිය මිය යන බවට පළවන වාර්තාවන්හි කිසිදු සත්‍යයක් නොමැති නමුත් බන්ධනාගාරය තුළදී අසනීප වී බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒමට ප්‍රථම රැඳවියන් මිය යන අවස්ථාවන් වාර්තා වන බව හෙතෙම පැවසුවේය.
ප්‍රභූ පංතියේ රැඳවියන්ගේ අසනීප තත්ත්වයකදී ඔවුන්ව ජාතික රෝහල වෙත මාරු කර හැරීම ක්ෂණිකවම ක්‍රියාත්මක වන බවට රැඳවියන්ගේ ඥාතින් නගන චෝදනාව වෛද්‍ය රණසිංහ එකහෙලා ප්‍රතික්ෂේප කර සිටියි.
මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පවතින ඖෂධ හිඟය කෙසේද යන්න පිලිබඳව ලංකාසර කළ විමසුමකදී ඔහු පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය සතු අනෙකුත් රෝහල් තුළද දක්නට ලැබෙන ඖෂධ හිඟය බන්ධනාගාර රෝහල තුළද අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන බවකි.







