ලලිත් චාමින්ද –
ඉමදුව පැඟිරිහේන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් හා කාන්තාවක් වෑන් රථයකින් පැමිණ පැහැර ගෙන ගොස් එම නිවස ඊයේ (07) රාත්‍රි 12.00ට පමණ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන සම්පුර්ණයෙන් කඩා ඉවත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.
![කඩා දැමූ නිවස](http://lankasara.com/wp-content/uploads/2021/10/vlcsnap-2021-10-08-13h17m18s427.jpg)
ඉඩම් ආරවුලක් මත මෙම සිද්ධිය වී ඇති බැව් පොලිස් පරික්ෂණවල දී අනාවරණය වි ඇත. දහදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවට පොලිසිය සැක කරයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අඹු සැමි යුවළක් හා නිවෙස්හිමි කාන්තාව පමණි. එක් කාන්තාවගේ දෑස් නොපෙනන අතර මොවුන් තිදෙනා උණවටුණ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව ඔවුහු පවසති.
මෙම සිද්ධිය විස්තරකරමින් නිවසේ සිටි කාන්තාවක් අප සමග මෙසේ කිවාය.
“මගේ දෑස් පෙන්නේ නැහැ. රාත්‍රී 10.00ය විතර අපි රාත්‍රි ආහාරය අරගෙන නින්දට ගියා. මිස් සහ මම කාමරයේ ඇඳක නිදාගත්තා. මගේ මහත්තයා මෙට්ටයක් දමාගෙන එළියේ දොරකොඩ නිදාගත්තා.“
![](http://lankasara.com/wp-content/uploads/2021/10/3-1-1.jpg)
“රාත්‍රි 12.00ට විතර ඇති. දොරට පයින් පාරක් ගැසුවා. මෙන්න බුදු අම්මෝ අපිව මරණවා කියා මගේ මහත්තයා කෑගැසුවා. මගේ ඇස් පෙන්නේ නැහැ මාව මරණ එපා කියලා කියලා මම කිව්වා. පස්සේ අපි තුන්දෙනා වෑන් රථයකට දමාගෙන ගියා. “
“මම දන්නෙ නෑ අරන් ගියෙ කොහෙද කියලා. මහත්තයා නම් කීවේ උණවටුණ පැත්තට අරගෙන ගියා කියලා. පස්සේ අපි පිලානට රැගෙන ආවා. ඒ සමග ජිප් රථයක්ද ආවා. අපි පිලානේ දමලා වෑන් රථය හා ජිප් රථයෙන් ආපු අය යන්න ගියා. බෑනාට කථාකරගෙන ඇවිත් තමයි ඉමදුව පොලිසියට ගිහින් පැමිණිලි කළේ. “ ඇය කිවාය.
මෙම සිද්ධියට සම්බන්ද එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය පිළිබද ඉමදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.