සංරක්ෂණය කෙරෙමින් තිබෙන නැදුන්ගමුව රාජා ඇතාගේ සිරුර තැන්පත් කිරීම සඳහා නෙල්ලිගල හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක සුදුසු ස්ථානයක් ලබාදිය හැකි බව එම විහාරස්ථාන දෙකේ විහාරාධිපතීත්වය හොබවන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති.
මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වෙමින් සාධතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තැබෙන ස්ථානය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් නිර්මාණය වූ බවත් මෙය සැලකිල්ලට ගෙන කූරගල හෝ නෙල්ලිගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් උන්වහන්සේ කීහ.
නැදුන්ගමුව රාජා ඇතාට ගෞරවයක් ලබාදිය යුතු වුවත් සංරක්ෂිත සිරුර තැන්පත් කළ යුත්තේ දළදා වහන්සේ වැඩ සිටින දළදා මැදුර පරිශ්‍රයේ නොවන බවද ධම්මරතන හිමියෝ පැවසූහ.
දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කළ රාජා ඇතා පුරා අඩසියවසක් සාධාතුක කරඬුව වැඩම කළ බවත් මරණයෙන් පසු රාජා ගේ සංරක්ෂිත සිරුර දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කළ පමණින් අනෙකුත් ඇතුන් ද එම පරිශ්‍රයේ තැන්පත් කර තැබීම සුදුසු නොවන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
රටට සම්පතක් වූ සුවිශේෂ වැදගත්කමක් ඇති අලි ඇතුන් මියගිය පසු ඔවුන්ගේ සිරුරු තැන්පත් කර තැබීම සඳහා ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවත් එසේ නොමැතිව පෙරහර කරඬුව වැඩම කළ සියලු ඇතුන් දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කරන්නට යාමෙන් සිදුවන්නේ එම උතුම් භූමිය ඇත් සොහොන් බිමක් බවට පත්වීම බවත් උන්වහන්සේ කීහ.