ශ්‍රී දළදා මාළිගාවේ රැකවලට යොදාවා ඇත්තේ ගිනි නිවීමේ වගකීම සහිතව ඒ විෂය සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබා දුන් ගුවන් හමුදා භට පිරිසක් බවත් ඩ්‍රෝන තාක්ෂණය සම්බන්ධව කටයුතු කිරීමේ රාජකාරි වගකීමක් ඔවුන් වෙත නැති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේය.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (07) ශ්‍රී දළදා මාලිගාවේ අධි ආරක්ෂිත පරිශ්‍රයට ඩ්‍රෝන යානයක් යැවූ විදේශිකයෙක් සම්බන්ධ පුවත වාර්තා කිරීමේ දි ගුවන් හමුදා භටයන් එහි සේවයේ යොදවා තිබීම අවධාරණය කරමින් එය වාර්තා කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරමිනි.
ඩ්‍රෝන යානා නීති විරෝධීව ගුවන්ගත කළහොත් යැවූ පුද්ගලයින් අත් අඩංගුවට ගත හැක්කේ පොලිසියට පමණක් බව පෙන්වා දෙන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම වැළැක්වීම සඳහා ගුවන් හමුදාවේ තාක්ෂණය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය හරහා විශේෂ ඉල්ලීමක් කළ යුතු බවය.
දැනටත් විශේෂ අවස්ථාවල දී එම සේවය ගුවන් හමුදාව විසින් දළදා මාළිගා පරිශ්‍රයට සපයන බවත්, කොළඹ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් ස්ථාන ආවරණය කරමින් එම සේවාව පවත්වාගෙන යන බවත් මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කීවේය.