සුසන්ත අමරබන්දු –
රාජකාරි නිවාඩු සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් යැයි ප්‍රකාශ වුව ද තිරුක්කෝවිල් පොලිසියේ ප්‍රහාරක ඝාතකයාගේ හැසිරීම කුමක් නිසා සිදුවී ඇතිදැයි තවම අනාවරණය වී නැති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ඝාතකයා පොලිස් සැරයන් 40685 එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර නැමැත්තෙකි.
මේ වනවිට සිද්ධියෙන් සිවු දෙනෙක් ඝාතනය වී තවත් සිවු දෙනෙක් බරපතල තුවාල සහිතව කල්මුණේ අෂ්රොෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් හිඳී.
සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ, පොලිස් කොස්තාපල් 8861 නවීන්, පොලිස් කොස්තාපල් රියදුරු 17382 තුෂාර, පොලිස් සැරයන් 44132 කාදර් යන අයය.
මේ වනවිට බරපතල තුවාල සහිතව ගේට්ටුවේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් කන්දසාමි 44386, සැරයන් 14787 ගුණවර්ධන, පොකො රියදුරු 89730 කුමාර සහ පොලිස් ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම කල්මුණේ අෂ්රොෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.
සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.
තිරුක්කෝවිල් පොලිසියට නිලධාරීන් 45ක් පමණ අනුයුක්ත කර සිටිති. රාත්‍රී රාජකාරි සඳහා ඉන් තුනෙන් එකක සංඛ්‍යාවක් යොදවා තිබේ.
ඝාතකයා පොලිස් සැරයන් 40685 එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර ඊයේ රාත්‍රියේ 12ට පමණ එක්වරම ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා වෙත ගොස් ඔහුගෙන් රාජකාරි ගිනිඅවිය උදුරාගෙන ඔහුට මුලින්ම වෙඩි තබා ඇත.
පසුව උපසේවා භාර නිලධාරියා වෙත ගොස් ඔහුටත් වෙඩි තබා ඔහු අසල සිටි පරිගණක භාර නිලධාරියාට වෙඩි තබා තිබේ.
ඝාතකයා දකින දකින නිලධාරියාට වෙඩි තබන්නට පටන් ගත් නිසා පොලිසියේ අනෙක් නිලධාරීන් ජීවිතාරක්ෂාව පතා සඟවී ඇත. ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථය රාජකාරියක් සඳහා ගොස් පොලිසියට පැමිණ නවත්වා තිබේ. එහි පැමිණ ඇත්තේ පොලිස් රියදුරෙක් සහ නිලධාරියෙකි. ඔවුන් දෙදෙනාටත් ඝාතක සැරයන්වරයා වෙඩි තබා ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි. ඝාතකයා ස්ථානාධිපතිවරයා වෙත තැබූ වෙඩිල්ල වැඩී ඇත්තේ අතටය.
දකින දකින නිලධාරීන්ට වෙඩි තබමින් පැය භාගයක් පමණ පොලිසියේ රැඳී සිටි ඔහු අනතුරුව ඔහුගේ UP- DAE 6675 දරන බොලෙරෝ ජිප් රථයෙන් පලා ගොස් ඇත්තේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ 500ක් පමණ සහිත මැගසින් 19ක් රැගෙනය.
අනතුරුව ඔහු පොතුවිල, සියඹලාන්ඩුව හරහා ඇතිමලේ ඔහුගේ නිවසට ගොස් ඇත. මේ තැනැත්තා පදංචිව සිට ඇත්තේ නවදා හන්දිය ගැමුණුපුර ඇතිමලේ ලිපිනයේය.
වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති අතර තවත් නිලධාරියෙක් රෝහල වෙත රැගෙන යද්දී මිය ගොස් ඇත. අද උදෑසන පොලිස් සැරයන්වරයා මිය ගියේය.
සිද්ධිය වාර්තා වී අවට පොලිස් ස්ථානවලින් නිලධාරින් සහ හමුදාවත්, විශේෂ කාර්ය බලකායත් පැමිණෙන විට ඝාතකයා පලා ගොස් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන ගොස් තිබී ඇත.
ඝාතකයා භාරවී ඇත්තේ ඔහුගේ නිවස පිහිටි පොලිස්බල ප්‍රදේශයට අයත් ඇතිමලේ පොලිසියටය.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.