රටපුරා ඉන්ධන අර්බුදයක් පැවති පසුගිය වසරේ ඛණිජ තෙල් තොග ගබඩා වලින් ඉන්ධන බෙදාහැරිමේදී පරිගණක පද්ධතිය අවභාවිතා කර ලීටර 6600 බවුසර 619ක ධාරිතාවක් සහිත ලීටර හතලිස් ලක්ෂ අසූ පන් දහස් හාරසියයක් (4085400) නියමිත ක්‍රම වේදයෙන් පිට කළුකඩයට අලෙවි කළ ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝගය අනුව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ කොලොන්නාව තොග ගබඩා සංකීර්ණයේ කළ විගණනයක දී හෙළි වී තිබේ.
මේ ඉන්ධන ප්‍රමාණය දල වශයෙන් ඉන්ධන නැවකට ආසන්න බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම විගණනයේදී හෙළිව ඇත්තේ 2022 ජනවාර් 01 දින සිට එම වසරේ අගොස්තු 31 වෙනිදින දක්වා කාලය තුළ ඔටෝ ඩිසල් බවුසර් 280ක්ද, සුපර් ඩිසල් බවුසර් 34 ක්ද, ඔක්ටෙන් 95 පෙට්ට්‍රල් බවුසර් 43ක්ද, ඔක්ටෙන් 92 පෙට්ට්‍රල් බවුසර් 227ක්ද, භූමිතෙල් බවුසර් 35ක් ද වශයෙන් ඉන්ධන බවුසර් හයසිය දහනවයක් (619) කළු කඩයේ විකුණා ඇති බවය.
ඉන්ධන බෙදාහැරිමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බවටත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් පසුගිය වසරේ අගෝස්තු 08 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.ඒ අනුව 2022 අප්‍රේල් 01 දින සිට එම වසරේ අගෝස්තු 15 දින දක්වා මාස හතරක කාලය තුළ දී ඉන්ධන බෙදාහැරිම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.
ඉන්ධන අර්බුදයක් පැවති සමයේ අර්බුදයට මුවා වී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා ප්යන්වලින් ඉන්ධන බෙදාහැරිමේදී සිදුවී ඇති මෙම වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර විසිනි.
කොලොන්නාව තොග නිමාව මගින් ඉන්ධන බෙදා හැරීමේ දී එහි පරිගණක පද්ධතිය (SAP) ක්‍රියාත්මක කිරීමට ඇති මාර්ගෝපදේශ නියමන්ට පටහැනි විධානයන් භාවිතා කර එකම ඇණවුම අවලංගු කරමින්, යලිත් වලංගු කරමින් නැවතත් අවලංගු කරමින්, ගැනුම්කරුවන්ගේ ගිනුමෙහි මුදල් නැතිව හෝ අඩුව පවතින අවස්ථාවල අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇනවුමට සරිලන ප්‍රමානයට තුළනය කර මුදල් අවභාවිතා කරමින් මෙම වංචාව සිදුකර ඇති බව විගණනය හෙළි කර තිබේ.
එමෙන්ම ඇනවුමක් අවලංගු කිරීම පද්ධතියේ පාලනයෙන් තොර වීම අයථා මූල්‍ය වංචාවන් කිරීමට අවශ්‍ය පරිසරය සකසා ඇති බවත්, එය බරපතල තත්ත්වයක් බවත් විගණනය පෙන්වා දෙයි.
පද්ධතියේ නිශ්ඡිත විධි නියමන්වලින් තොරව අයථා විධාන ලබා දෙමින් පද්ධතිය හැසිරවීමට අධිකාරී බලය ලබා දුන් බලධාරියා මෙම වංචාවට ඍජුවම වගකිව යුතු බව විගණනය කියයි.