තිරිගු පිටි මිල පාලනය සඳහා මිල සූත්‍රයක් වහාම හදුන්වා දීමට කටයුතු කළ යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කර ඇත.

තිරිඟු පිටි සඳහා පැනවූ බදු ගාස්තු වැඩිවීම හේතුවෙන් මිල ඉහළ යාම සිදු වුවත්, එම වැඩි වූ බදු මුදල ඒ වනවිටත් මෙරට ගබඩාවල පැවති තිරිඟු පිටි සඳහාද එකතුකර මිල ඉහළ දමා ඇති බව පෙන්වා දුන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳව ගණනය කර මාස 2ක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ද විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
මේ පිළිබඳ සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එහිදී තිරිඟු පිටි සඳහා ද මිල සූත්‍රයක් පවතීනම් එක් එක් පාර්ශ්වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බව ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.
මේ වන විට ලංකාව පුරා වෙළඳසැල් වල විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අළෙවි කිරීම සිදුවන බව කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
කෙසේ වෙතත් මුදල් ආමාත්‍යාංශය ලබා දුන් මිළ ගණන් අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 198ක මුදලකට අළෙවි කළ හැකි බවද කමිටුව නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්‍රියාත්මකවන බවත් මෙම තත්ත්වය වෙනස් කළයුතු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
පසුගිය සමයේ ගෑස් හා කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සැකසීම වෙනුවෙන් දැරූ වෙහෙස සිහිපත් කළ සභාපතිවරයා තිරිඟු පිටි මිල නියාමනයටද මිල සූත්‍රයක දැඩි අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. වඩාත් විනිවිධ බාවකින් කටයුතු කිරීමටනම් මිල සූත්‍රයක් වහාම සකස් කළයුතු බවට කමිටුව අවධාරණය කරන ලදී.







