උපේක්ෂා උඩුවැරැල්ල-
මේ වනවිට තැපෑල වර්ජනයකය. මේ වර්ජනයේ ඉදිරිපෙළ සිටින සාතිශය බහුතර වෘත්තීය සමිති නායකයින් යැයි කියාගන්නා පිරිස විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ය. මේ පිරිස සහිත වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මේ වනවිට රටේ සමස්ථ තැපෑලම අඩපණ කර තිබේ.
වැඩ වර්ජන සහිත සටන් ඉතිහාසයක් වැඩ කරන පන්තියට තිබේ. වැඩ කරන මනුෂ්‍යයින්ගේ සාධාරණ වැටුප, මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමේ අයිතිය, සහ ශ්‍රමයේ වටිනාකම සහතික කළේ මේ සටන් ඉතිහාසය විසිනි. ඒ සටන්වල ජයග්‍රහණ ඉතිහාසගත පරිවර්තන සලකුණු කරන්නේ සටන්වලින් වැඩබිම් විනාශ කිරීමෙන් නොවේ. වැඩබිම්හි ඵලදායීතාව සඳහා සාධාරණ වැඩ කරන පරිසරයක් නිර්මාණය කරගැනීමෙනි.
මේ අර්ථයෙන් තැපෑලේ වර්ජනය තේරුම් ගැනීමට තේරුම් ගැනීමට උත්සාහ කිරීමත් නිශ්ඵලය. ඔවුහු ප්‍රධාන ඉල්ලීම් 19ක් මුල් කරගෙන සටන් කරන බව කියති. ඉන් ඉල්ලීම් 17ක් සඳහා රජයේ එකඟතාවය ලැබී ඇති බවත් මේ වනවිට එම ඉල්ලීම් ඉෂ්ඨ කර ඇති බවත් තැපැල්පති රටට කියයි. තැපැල් ඇමතිත් තියයි. එසේ නම් මොවුන් දීප ව්‍යාප්ත වර්ජනයක් පවත්වාගෙන යන්නේ ඉල්ලීම් දෙකක් මුල් කරගෙනය. රට නොදන්නා එම ඉල්ලීම්වල ස්වරූපය කුමක් ද?. මුලින්ම එය විමසා බැලීම වැදගත්ය.
තැපෑල නැවැත්වූ ඉල්ලීම් දෙක
-
ඇඟිලි සලකුණු යන්ත්‍ර ගෙන ඒම
තැපැල් දෙපාර්තමේන්තුව යනු මාසිකව බිලියන 4ක් භාණ්ඩාගාරයට පාඩු කරන ආයතනයකි. එම ආයතනයේ ඉපැයීම්වලින් සියයට 90ක් වැය වන්නේ වැටුප් සහ අතිකාල දීමනා වෙනුවෙනි.
මෙතෙක් කල් තැපෑලේ සේවකයින් වැටුප් සහ අතිකාල අත්පත් කරගත් ක්‍රමවේදයක් තිබිණි. සාමාන්‍ය සේවා කාලය 8.45 – 4.15 කාල සීමාව වැඩ මුරයට ඇඟලි සලකුණු යන්ත්‍රය භාවිතා වන්නේය. එහෙත් පැය 24 පුරා රාත්‍රී මුර ක්‍රමයට සේවය කරන මධ්‍යම තැපැල් හුවමාරුව වැනි ස්ථානවලට ඇඟිලි සලකුණු යන්ත්‍රය හඳුන්වා දීමට සේවකයින්ගේම විරෝධතාවයක් පැමිණියේය. ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වා දෙනු ලැබුවහොත් සේවක වර්ජන ඇතිවන මට්ටමක් ඇතිවන තරමට තත්ත්වය ප්‍රබල විය. ඔවුන්ගේ පැමිනීම් – පිටවීම් සහ අතිකාල සේවයට අදාලව වැඩ කරන පැය ගණන් නඩත්තුවීම් සිදුවන්නේ පොත් හරහාය. මේ තත්ත්වය කාලීනව වෙනස් නොකර තැපැල් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන ගියේය. ඊට අත නොතිබ්බේ සේවක ප්‍රශ්න ඇති වීම මෙන්ම තැපෑලේ ඇති සේවක හිඟය හේතුවෙන් සිටින සේවක පිරිසෙන් දෛනික රාජකාරි පවත්වා ගැනීම සඳහාය.
පසුගිය වසරේ සිට වෙනස් වූ චක්‍රලේඛ මත පැවති විගණනයන්හි දී මේ අතිකාල ගණනයේ නොගැලපෙන බව දිගින් දිගටම අනාවරණය වූ අතර වැඩිපුර අතිකාල ගෙවීම් සම්බන්ධව පළාත් ප්‍රධානීන් වෙත විගණන චෝදනා එල්ල වූයේය. එම චෝදනාවන්ට සාධාරණ පිළිතුරු ලබා දීමට ප්‍රධානීන්ටත් හැකියාවක් තිබුණේ නැත. මේ අතර රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි සලකුණු යන්ත්‍ර හඳුන්වා දුන්නේය. මේ වනවිට වර්ජනයේ යෙදී ඇති පිරිස තවමත් වර්ජනය තුළ රඳවා සිටින ප්‍රධාන ඉල්ලීම් දෙකෙන් එකක් මේ ඇඟිලි සලකුණු කාල සටහන් ක්‍රමය ඉවත් කර ගැනීමය.
-
ප්‍රසාද පැයේ ප්‍රශ්නය
දෙවැන්න ප්‍රසාද පැය සම්බන්ධව තැපෑලේ පැවති අතිකාල ක්‍රමය ය. ප්‍රසාද පැය ලෙස හඳුන්වා දුන් ක්‍රමය තුළ දිවා කාලයේ වැඩ කරන එක් අතිකාල පැයක් වෙනුවෙන් පැය කාලක අමතර කාලයක් ද, රාත්‍රී කාලයේ වැඩ කරන එක් අතිකාල පැයක් වෙනුවෙන් වැඩිපුර පැය භාගයක කාලයක් ද ලෙස ගණනය කිරීම සිදුවිය. මෙම ක්‍රමය දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ තැපෑලේ පැවති ක්‍රමයකි.
රජය හඳුන්වා දුන් වැටුප් වැඩිවීම සමග මූලික වැටුප 2024ට සාපේක්ෂව ලැබුණු අතර අතිකාල ඇතුළු වෙනත් දීමනා ගෙවනු ලැබුවේ වර්ෂ 2027 වැටුපට සාපේක්ෂවය. මේ සමග ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රසාද පැය ක්‍රමය වෙනුවට පැයකට පැය කාලක් වැඩිපුර අතිකාල දීමනාවක් ලබා ගන්නා අවස්ථාව වෙනුවෙන් සහ පැයට පැය එක හමාරක අතිකාල ලබා ගන්නා ක්‍රමය වෙනුවෙන් විශේෂ අතිකාල ගෙවීමේ සූත්‍රයක් සකස් කරනු ලැබුවේය.
එම අතිකාල ගණනය වන සූත්‍රය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හි උපලේඛන II හි සඳහන් වැටුපට අදාලව අනුව මෙසේය.
පෙරවරු 6 සිට පස්වරු 09 දක්වා උදෑසන අතිකාල සේවයේ යෙදෙන අතිකාල දීමනා හිමි සේවකයින්ට එම සේවය වෙනුවෙන් වැටුපෙන් 1/240 කින් සැලකෙන පැයක මුදලට තවත් සියයට 25ක් එකතු කරනු ලැබිනි.
- නව සූත්‍රය අනුව එම සේවකයාට චක්‍රලේඛ අංක 10/2025 හි උපලේඛන IIහි සඳහන් මූලික වැටුප 240න් බෙදා එය 125% න් වැඩි කර නැවත එය 5/6කින් වැඩිකර ලබන මුදල අතිකාල පැයක් වෙනුවෙන් ගෙවනු ලබයි.
පස්වරු 09 සිට පෙරවරු 06 දක්වා අතිකාල සේවය යෙදීම වෙනුවෙන් මෙතෙක් සිදුකළ මූලික වැටුප 240න් බෙදා ඊට සියයට 50ක් එකතු කර අතිකාල පැයකට ගෙවිම් කළේය.
- එම සේවකයින්ට චක්‍රලේඛ අංක 10/2025 හි උපලේඛන II සඳහන් මූලික වැටුප 240න් බෙදා එය 150%න් වැඩි කර නැවත එම අගය 4/5න් වැඩි කර ලබන මුදල අතිකාල පැයක් වෙනුවෙන් ගෙවනු ලබයි. මෙම අතිකාල දීමනා ගෙවීමේ නව සූත්‍රය බලාත්මක කරනු ලැබුවේ 2025.04.01 දින සිටය.
මේ අතිකාල ගෙවීම තමන්ට පැවති අයිතිවාසිකමක් කප්පාදු කිරීමක් ලෙස වෘත්තීය සමිති විසින් ඉදිරියට ගෙනාවේය.
මේ අවස්ථාවේ දී වත්මන් තැපැල්පතිවරයා ලබන දෙසැම්බර් දක්වා පවතින ක්‍රමය පවත්වා ගැනීමට වෘත්තිය සමිති හා එකඟ වී වැඩ වර්ජනය නවත්වා ගැනීමට උත්සාහ කළත් ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තැපැල්පතිගේ මෙම ප්‍රවේශය ප්‍රතික්ෂේප කරමින් දන්වා සිටියේ රජයේ ප්‍රතිපත්තියට අනුව ආයතනය පවත්වාගෙන යන ලෙසය.
2027 දී ලැබෙන පඩියට ලබා ගන්නා අතිකාල වැටුප නියමිත සූත්‍රයකට ගෙන ඒමත්, සමස්ථ තැපෑලේ සේවකයින් වෙනුවෙන්ම ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමත් මේ වර්ජනයේ ඇති මුඛ්‍ය ඉල්ලීම් දෙකය. දැනට තැපෑලේ වෘත්තීය සංගම් ඉල්ලන ඉල්ලීම් 19න් ඉටු වී නැත්තේ මේ ඉල්ලීම් දෙක පමණය.
මළගම
දැන් දෙවැනි දිනය දක්වාත් වර්ජනය ඇදෙන්නේය. මේ සෑම දිනයකම තැපෑල හා බැඳුන ගනුදෙනු කරුවන් බරපතල ලෙස තැපෑලෙන් ගැලවී යන්නේය. මාසයකට බිලියන 4ක පාඩුවක් පිට ජනතා බදු මුදලින් පවත්වාගෙන යන, නව චින්තන ප්‍රවේශයක් වෙත ප්‍රවේශ නොවුනහොත් වඳවී යෑමට නියමිත ආයතනයක අවසාන නර්තනය වෘත්තීය සමිති කීපයක දේශපාලන යටි අරමුණු විසින් මෙහෙයවමින් ඇති බව පමණක් පෙනෙන්නේය.
ලෝකයේ පුද්ගලික අංශ වඩාත් කාර්යක්ෂමව සහ බලවත්ව තැපැල් සහ විදුලි සංදේශ ක්ෂේත්‍රය අක්‍රමණය කරමින් සිටින පරිසරයක රාජ්‍යයට බරක් ලෙස පවත්වාගෙන යන අත්‍යවශ්‍ය බවේ වටිනාකම ක්‍රමයෙන් ක්ෂය වෙමින් යන තැපැල් සේවය ඇස් ඉදිරිපිට ව්‍යසනයට ලක්කරන ආකාරය දකිමින් හිඳිමු.
අප යළිත් දකින්නේ එක් සත්‍යයයකි. උන් වෙනසක් ඉල්ලති . වෙනසක් වෙනුවෙන් වැළලෙති. එහෙත් තමන් දශමයකින් වෙනස් වීමට සූදානම් නැත. තමන් හැර අනෙක් සියලු දෙනා වෙනස් විය යුතුය. වෙන් වෙන් වශයෙන් ගත් පසු පුරවැසි මනෝ භාවය එයය. තමන් අත්පත් කරගත් වපසරිය තුළ තාර්කික හේතු මත හෝ අංශු මාත්‍රයක් අත් හැරීමට සූදානම් නොවන, එවැනි අත්හැරීමක් යෝජනා කරන විට මරාගෙන මැරෙන්නට එන උන් සහිත සමාජයක කළ හැකි අහවල් වෙනසක්වත් නැත. අවසන් ප්‍රතිඵලය සාමුහිකව කුණු වී විනාශ වී යෑමය. උදාහරණය තැපෑලය.







