ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත් රට පූර්ණ ආර්ථික ප්‍රකෘතිය තවමත් සහතික වී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා බලා දෙන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දැනුම් දී ඇත.
“වර්ධන වේගය අඩු මට්ටමක පවතීයි. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර සියයට 3.1 කින් හැකිලීම ඇත. ඉහළ-සංඛ්‍යාත ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සපයයි. මෑත මාසවලදී රාජ්‍ය සංචිත සමුච්චය මන්දගාමී වී ඇත,” දූත මණ්ඩලය වෙනුවෙන් Peter Breuer සහ Katsiaryna Svirydzenka අද (27) මාධ්‍යට නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ. .
විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධාන යටතේ වැඩසටහනේ පළමු සමාලෝචනය අනුමත කිරීම සඳහා ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට Peter Breuer සහ Katsiaryna Svirydzenka ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2023 සැප්තැම්බර් 14 සිට 27 දක්වා කොළඹට පැමිණ සිටිති.
“විශාල අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකාව දුෂ්කර නමුත් ඉතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තිබේ. ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික සලකුණු පෙන්නුම් කරන බැවින් මෙම උත්සාහයන් ඵල දරනු ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 70 ක උපරිමයේ සිට 2023 සැප්තැම්බර් මාසයේදී සියයට 2 දක්වා උද්ධමනය අඩු වී ඇත. මේ වසරේ මාර්තු-ජූනි කාලය තුළ දළ ජාත්‍යන්තර සංචිත ඩොලර් බිලියන 1.5 කින් වැඩි වී තිබේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ලිහිල් වී ඇත, ”IMF මෙහෙයුම් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කල්පවත්නා ස්ථාවර ප්‍රකෘතිමත් ආර්ථික වර්ධනයක් කරා ආර්ථිකය ගෙන ඒම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් බව IMF මෙහෙයුම වැඩිදුරටත් සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම විධිවිධානය යටතේ පළමු සමාලෝචනයට පාදක වන ආර්ථික කාර්ය සාධනය සහ ප්‍රතිපත්ති පිළිබඳව IMF කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවට එහි ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගෙන යන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට නුදුරු කාලීනව එළැඹීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යනු ඇති බව දූත මණ්ඩල නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ අරමුණු සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ දූෂණ අවදානම්වලට විසඳුම් සෙවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම යන කාරණා කෙරෙහි විශේෂ අඛණ්ඩව අවධානය යොමු කරන බවද දූත මණ්ඩලය නිවේදනය කරයි.