දිනසේන රතුගමගේ –
යාපනයේ මහපාරකදී තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට තැත් කළ පුද්ගලයෙක් මහජනතාව විසින් අල්ලා යාපනය පොලීසියට බාර දී තිබේ.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (25) දිනයේ දී ය.
මෙම තරුණයා ඔහුගේ පියා සමග යාපනයේ මුට්ටකඩ හන්දිය අසලින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකතනයක තිබූ ඡායාරූපයක් පෙන්වා ” මේ ඔබ’’ දැයි විමසා ඇත.
තරුණයා ‘’ඔව්’’ යැයි පැවසීමත් සමගම යතුරු පැදියේ පිටුපස සිටි තරුණයා මහපාරේ සිටි තරුණයාව ඇද යතුරු පැදියේ නංවා ගෙන පලා යමට සූදානම් වී තිබේ.
මේ අවස්ථාවේදි තරුණයාගේ පියා එම තරුණයින් දෙදෙනා සමග පොර බැදීමට පටන් ගැනීමත් කෑ කෝ ගැසීමත් නිසා එම ස්ථානයේ කලබලකාරී ස්වභාවයක් ඇතිවී තිබේ. ඒ සමගම යතුරු පැදියේ පැමිණි තරුණයින් දෙදෙනා පලා යන්නට උත්සහ කොට තිබේ.
ඒ අවස්ථාවේදී එතැනට රැස් වූ ජනතාව පලායමින් සිටි එක් තරුණයෙකු අල්ලා රඳවා තබා ගෙන සිට පොලීසිය වෙත බාර දී ඇත.
මෙම තරුණයින් දෙදෙනා විසින් මහපාරේ ගමන් කරමින් සිටි තරුණයාව පැහැර ගෙන යාමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
යාපනය පොලීසිය දැනට අත් අඩංගුවේ සිටින තරුණයාගෙන් ප්‍රශ්න කරගෙන යයි.







