නිර්වින්දන එන්නතක් ලබා දීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි 59 හැවිරිදි විදුහල්පතිවරියක් ඊයේ (16) අලුයම මියගොස් ඇත.
මියගිය එ.ජී කරුණාවතී නැමැති විදුහල්පතිනිය දෙදරු මවකි. ඇය මහනුවර මාඋස්සාව කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිට තිබේ.
හර්නියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙයට දෙමසකට පමණ ඉහත දී ඇය රෝහල් ගතව ඇත.
පසුගිය අප්‍රේල් මස සැත්කමට ලක්කළ අවස්ථාවේ ලබාදුන් එන්නතක් හේතූවෙන් ඇතිවූ සංකූලතා නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ විදුහල්පතිනිය මියයන තෙක්ම එහි ප්‍රතිකාර ලබමින් සිටියාය.
විදුහල්පතිනිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී දරු ප්‍රසූතියක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මවකට විදුහල්පතිනිය වෙත ලබාදී තිබූ නිර්වින්ද එන්නතම ලබා දීමෙන් සංකූලතා ඇති වූ අතර එම මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියාය.
අදාළ සිද්ධියෙන් පසු සංකූලතා ඇති කිරීමට හේතු වූ නිර්වින්දන එන්නත රෝගීන් සඳහා ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්හිටවනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කරමිනි.
මෙම සංකූලතාවය ඇති කරනු ලැබුවේ ඉන්දියාවේ SP Accure Labs Pvt Ltd, ආයතනයෙන් මිලදි ගත් Propofol 500mg/50ml එන්නතේ ඛාන්ඩ අංක 23CPF01 ඛාණ්ඩයේ 23CPF02 එන්නත්ය. මෙම එන්නත් ඛාණ්ඩ දෙකේ එන්නත් ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කෙරිනි.
දරු ප්‍රසූතිය සඳහා ඇතුළත් වූ මවට ලබාදුන් එන්නත ඊට දින කිහිපකට පෙර විදුහල්පතිනිය වෙත ලබාදී තිබෙන බවත් සංකූලතා හේතුවෙන් තරුණ මව මියගිය බවත් පැවසූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න විදුහල්පතිනිය මාස දෙකකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ යැයි ද ප්‍රකාශ කළේය.
මියගිය විදුහල්පතිනිය ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.