කීර්ති ප්‍රනාන්දු –
තමන් ගත් ණය ගෙවා ගත නොහැකිව පීඩාවට පත් වූ තරුණ මවක් සිය 05 හැවිරිදි පිරිමි දරුවාට සහ 08 හැවිරිදි ගැහැණු දරුවාට වස පොවා තමන්ද වස පානය කළ පුවතක් නාල්ල තලාහේන පින්කුඹුරවත්තෙන් වාර්තා වේ.
ඊයේ (30) හවස සිදුවූ මෙම සිද්ධියෙන් අසාධ්‍ය තත්ත්වයට පත් දරු දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමාරොහලේ දැඩි සත්කාර ඒකකයේත්, මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයෙත් ප්‍රතිකාර ලබන බව ලංකාසර කළ විමසීමක දී නාල්ල පොලිසිය පැවසුවේය.
දැනට සිදු කර ඇති විමර්ශන අනුව රැකියාවක් නොකරන 31 හැවිරිදි මව ණයවී ඇත්තේ සැමියා නොදැන බවය. ලක්ෂ තුන හමාරකට ආසන්න ණයක් පිළිබඳව දැනට විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.
මෙම කාන්තාව අන්නාසි වගාවට යොදා ගන්නා කෘමිනාශක කුප්පි තුනක් රැගෙනවිත් ඉන් දෙකක් දරුවන්ට පොවා අනෙක් තමන් විසින් පානය කර ඇත.
වස පොවා තිබුනු නමුත් මුල් අවස්ථාවේ දී දරුවන් ව්‍යාකූලතා පෙන්වා නැති බවත්, කුඩා දරුවා අසල නිවසට ගොස් සිය මව වැටි සිටින බව දන්වා ඇති බවත් හෙළි වී තිබේ.
ඇය බැලීමට ගිය අසල්වැසි නිවැසියන් කාන්තාව වස බී ඇති බව දැනගෙන ඇයව වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇත. ස්වල්ප වෙලාවකින් පිරිමි දරුවා ද සිය හිස රිදෙන බව පවසා තිබේ. ඔහු කියා ඇත්තේ මව පානය කළ දෙය තමන්ට ද බොන්නට දී තිත්තයි කී විට සීනි කැවූ බවය.
කෙසේ වෙත්ත් පසුව අසාධ්‍ය වූ දරුවන් දෙදෙනා ද රෝහල්ගත කර ඇත. මේ වනවිට දරුවන් දෙදෙනා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් ප්‍රතිකාර ලබමින් ඇත
නාල්ල පොලිස් ස්ථානාධිපිත පොලිස් පරීක්ෂක එල්.ඒ විමලරත්නගේ මෙහෙයවීමෙන් නාල්ල පොලිසිය විමර්ශන පවත්වයි.