වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කිරීමේ සාර්ථකත්වය පිළිබඳව විද්‍යාත්මක දත්ත නොමැතිවීම හේතුවෙන් මේ වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නත මෙරට භාවිතය සඳහා අනුමත කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වන අතර මෙම එන්නත අනුමත කිරීම සඳහා පත්කොට ඇති විශේෂඥ මණ්ඩලයට එම එන්නත අනුමත කර දෙන ලෙස විවිධ බලපෑම් එල්ල වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.
චීනයේ බීජිං නුවර ප්‍රධාන කාර්යාලය කරගත් සයිනෝවැක්- බයෝටෙක් නම් සමාගම විසින් නිපදවනු ලබන මෙම ඖෂධය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණද එහි කොවිඩ් වෛරසයට එරෙහිව පවතින සාර්ථකත්වය 50.6%ක් බවට පර්යේෂණවලින් තහවුරුව තිබේ.
මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දුනීසියාවේ දැඩි ආන්දෝලනයක්ද නිර්මාණය වී ඇති අතර එයට හේතු වී ඇත්තේ සයිනෝවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් ඉන්දුනීසියානු වෛද්‍යවරුන් විසි ගණනක් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 131 දෙනකු කොවිඩ් ආසාදනයෙන් මිය යාමය.
කෙසේ වුවද මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැත කර ඇති පසුබිමක් තුළ කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දෙන ඖෂධයක් ලෙස ඇතැම් රටවල් භාවිත කිරීමට පෙලඹී තිබේ. එසේ වුවද දැනට වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය හමුවේ මෙම එන්නත කෙතරම් දුරට සාර්ථකද යන්න විමසීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් එන්නත් අනුමත කිරීමට පෙර සිදු කළ යුතු ඇගයීම් සඳහා පත් කරන විශේෂඥ කමිටුව අදාළ නිෂ්පාදකයාගෙන් සහ එම සමාගමේ දේශීය නියෝජිත සමාගමෙන් දත්ත ඉල්ලා ඇති අතර ඔවුන් ඒ සම්බන්ධ ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත තවමත් නොමැති බව දන්වා ඇති බව වාර්තා වේ.
එවැනි පසුබිමක් තුළ එන්නත භාවිතයට සුදුසු බවට වාර්තාවක් ලබා දීමට එම විශේෂඥයන් කටයුතු කර නොමැති බව වාර්තා වේ. එසේ වුවද මෙම ක්‍රියාවලියට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙකු හැකි ඉක්මනින් මෙම එන්නත අනුමත කිරීමට අදාල පියවර ගන්නා ලෙස අදාල කමිටුව වෙත බලපෑම් කරමින් සිටින බව සඳහන් වේ.
දැනට විද්‍යාත්මක දත්ත පවතින එන්නත් වර්ගවලින් මාත්‍රා සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති සහ නුදුරේදී පැමිණීමට නියමිත තත්ත්වයක් තුළ තවමත් නව ප්‍රභේදවලට එරෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාත්මක දත්ත නොමැති එන්නතක් හදිසියේ ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥයන්ගේ මතය වී තිබේ.
මේ වනවිට ශ්‍රි ලංකාවට කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනිකා) , සයිනෝෆාම්, ස්පුට්නික්, ෆයිසර් එන්නත්වලින් මාත්‍රා මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර ලබන 14 වැනිදා තවත් ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.4ක්ද කොවැක්ස් පහසුකම හරහා තවත් මාත්‍රා 264,000ක්ද මොඩර්නා එන්නත් මිලියනයක්, ෆයිසර් 278,000ක් සයිනෝෆාම් මිලියන 2ක් වශයෙන් එන්නත පැමිණීමට නියමිතය.
සයිනෝවැක් එන්නත් දේශිය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහාද මේ වනවිට අදාළ සමාගමේ දේශීය නියෝජිත සමාගම ගිවිසුම්ගත වී ඇති අතර ඒ අනුව ශ්‍රි ලංකා රජය මෙම එන්නත් මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට පොරොන්දු වී ඇත.