ඩුබායි රාජ්‍යයේ සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බුල්ලා නැමැති පාතාල අපරාධකරුගේ මත්කුඩු ජාවාරම රට තුළ මෙහෙයවමින් සිටිය දී අත්අඩංගුවට පත්ව දින 05ක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ මහනුවර පදිංචි ප්‍රධානම ජාවාරම් කරුවන් ලෙස සැලකෙන පුද්ගලයින් දෙදෙනා ජූනි මස 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර අද නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මහනුවර පියෂෝ ගාර්ඩ්න්හි පදිංචි සෙල්වරාජ් සුකුමාර් (38) සහ පාලිත ලක්ෂ්මන් (40) නැමැති පුද්ගලයින් දෙදෙනාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගනු ලබන මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් මහනුවර හෝටල් හිමියෙකි. අනෙක් පුද්ගලයා සංචාරක කටයුතු සඳහා සුඛෝපභෝගී වාහන සපයන්නෙකි.
ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටු වන්නේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක් අතරය. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
කටුගස්තොට කළුගලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව කටුගස්තොට පොලිස් අත් අඩංගුවට පත් වන්නේය. අත් අඩංගුවට පත් පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු කරද්දී බැංකු ගිනුමකට මුදල් තැන්පත් කල රිසිට්පත් ප්‍රමාණයක් විමර්ශන නිලධාරීන්ට හමුවන්නේය. මේ බැංකු රිසිට්පත් සම්බන්ධව විමසීමේ දි හෙළි වන්නේ ඔහු මෙම මුදල් තැන්පත් කර ඇත්තේ මත්කුඩු මිලදී ගැනීමට බවය.
අනතුරුව උසාවි නියෝග මත මෙම බැංකු ගිනුම් පරීක්ෂාවේ දී හෙළිවන්නේ සති කීපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම ගිනුම් හිමියා නමින් ඇති බැංකු ගිනුම් 10ක් හරහා විශාල මුදලක් සංසරණය වි ඇති බවය. එම මුදල් වලින් කොටසක් විදේශකට ද බැරවී තිබුණු බව හෙළි දරව් වුනේය.
මෙම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙක් සම්බන්ධව සැක සිති ඔහුගේ ගිනුම පරීක්ෂා කරන විට ඔහු නමින් ද ගිනුම් 10කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් කෝටි ගණනක මුදල් මාසයක් වැනි කාලයක් තුළ සංසරණය වි ඇති බවත්, මෙම පුද්ගලයින් දෙදෙනාගේම ගිනුම් ඔස්සේ සංසරණය වූ මුදල් ප්‍රමාණය කෝටි 20කට අධික බවත් පෙනී ගියේය.
ඒ අනුව මේ පුද්ගලයින් දෙදෙනා පසුගිය 26 දා මහනුවර අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගිනි.
අනතුරුව දින 05ක රැඳවුම් නියෝග මත මෙම පුද්ගලයින් තබාගෙන විමර්ශන මෙහෙයවන විට පෙනී ගොස් ඇත්තේ මෙම මත්කුඩු ජාවාරම ඩුබායි සිට මෙහෙයවන්නේ බුල්ලා නැමැති පාතාල අපරාධකරු බවත්, ඔහුගේ මත්කුඩු රට පුරා බෙදා හැරීමේ මෙහෙයුම් දියත් කර ඇත්තේ මේ පුද්ගලයා මුල් වී බවත්ය.
26 අත්අඩංගුවට ගන්නා මෙම පුද්ගලයින් රැදවුම් නියෝග මත දින 05ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මත්ද්‍රව්‍ය ආඥා පනත, මුදල් විශුද්ධිකරණ පනත, අන්තරායකර ඖෂධ පනත යටතේ අද මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කළේය. එහිදි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත විජේසේකර නියෝග කළේ ජූනි මස 14 තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.