මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව අභය භූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇල ආසන්නයට සුදුඅරලිය හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා මුළුතැන්ගෙයි කළු පැහැති අපවිත්‍ර ජලය, භූගත නලයක් මගින් බැහැර කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් 6 වෙනිදා පොලොන්නරුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කළ බව පොලොන්නරුව වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි,
පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මැයි 31 වෙනිදා පොලොන්නරුව අභය භූමියේ පරාක්‍රම සමුද්‍රයට අයත් තෙප්පන් ඇල්ල ආසන්න ප්‍රදේශයේ වැව් ජලයට ඒ ආසන්න සංචාරක හෝටල් දෙකකින් නාන තටාකවල සිට ජලය බැහැර කරන බව නිරීක්ෂණය කළ බවද අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව 1964 අංක 44, 1970 අංක 01, 1993 අංක 49, 2009 අංක 22, දරණ අණ පනත් වලින් සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත [ 46 අධිකාරිය ] උල්ලංඝනය වන ලෙස කටයුතු කර ඇති බවට නිරීක්ෂණය කිරීමත් සමග ඊට අධිකරණ ක්‍රියා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කේ. විජයකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබාගන්නා ජල මණ්ඩලය මීටර් 500 ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවත් පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාවේ කරුණු සඳහන් වේ,
ඒ අනුව මේ පිළිබඳව විමර්ශන සිදුකොට අදාළ සැකකරුවන් සහ සුදුඅරලිය හෝටලයේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග නිකුත් කර ඇති බවද පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි,
මෙම ආඥා පනත උල්ලංඝනය කිරීම යටතේ තෙප්පන් ඇළට නාන තටාකවලින් අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව පොලොන්නරුව ලේක් හවුස් හෝටලයේ කළමනාකාරිත්වයට 2023 ජුලි 15 වෙනිදා පොලොන්නරුව අධිකරණයේ නඩු පවරා රුපියල් තිස්දාහක දඩමුදලක් නියම කිරීමට කටයුතු කර ඇති බවද පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි,
මෙම සංචාරක හෝටල් පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිදුකරන ලද විමර්ශනවලදී හෝටල් සංස්ථාවෙන් පාලනයවන කාලයේ සිටම මේ ආකාරයට නාන තටාකවලින් අපවිත්‍ර ජලය සහ මුළුතැන්ගෙයි ජලය තෙප්පන් වැවට මුදාහැරි බවට අනාවරණය වී ඇති බවද වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.